කෝවිඩ්-19 වසංගත තත්ත්වය මත බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාවේ අඩු වීමක්  පසුගිය කාලයේ පෙන්නුම් කළද, මේ වනවිට එහි වර්ධනයක් දක්නට ලැබෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය. 


පසුගිය 15 වැනිදා බස්නාහිර පළාතේ බස් රථ 205ක්, 16වැනිදා 925ක්, 17වැනිදා 1,000ක් සහ 18වැනිදා 1,126ක් ධාවනය වී ඇති බවත්, 18වැනිදා කොළඹ දිස්ත්‍රික්කය තුළ බස් රථ 581ක්ද, ගම්පහ දිස්ත්‍රික්කය තුළ බස් රථ 120ක්ද සහ කළුතර දිස්ත්‍රික්කය තුළ බස් රථ 425ක්ද ධාවනය වී ඇති බවද ප්‍රසන්න සංජීව මහතා පවසා සිටියේය.

බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ හයදහසක් පමණ ඇති බවත්, එයින් දෛනිකව මගී  ප්‍රවාහනයේ යෙදෙන්නේ බස් රථ පන්දහසක් පමණ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතු කොට ගෙන බස් රථවල ගමන් කරන මගීන් විශාල වශයෙන් අඩු වීමක් දක්නට ලැබෙන බවද හෙතෙම පැවසීය.

බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීම තවදුරටත් සිදුකරන බවද  පවසන අතර, බස් රථවලට ගොඩ වන මගීන් නිසි සෞඛ්‍ය පිළිවෙත් ආරක්‍ෂා කරමින් කෝවිඩ්-19 උවදුර පාලනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින බවත්, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා තවදුරටත් පැවසීය.

- මංගල එදිරිසිංහ -