නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වෙත එරට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Regeneron මගින් නිපදවූ ප්‍රතිදේහ ප්‍රතිකාරය ලබා දීමට එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය (FDA) අනුමැතිය ලබා දී ඇතැයි පැවසෙයි. මෙහිදී දැඩි අවදානමකින් පසුවන එහෙත් රෝහල්ගතව නොමැති රෝගීන් වෙත ලබාදීම සඳහා මෙම අනුමැතිය හිමිව තිබේ.


එරට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද නව කොරෝනා වෙරසය ආසාදනය වී රෝහල්ගත කෙරුණු අවස්ථාවේදී ඔහු වෙත ලබා දුන්නේද මෙම එන්නතයි. REGEN-COV2 ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිදේහ ප‍්‍රතිචාරය එරට විද්‍යාගාර දෙකක එකතුවකින් නිර්මාණය කෙරී ඇත.

මෙම ප්‍රතිකාරය හරහා COVID-19 හා සම්බන්ධ රෝහල්ගත කිරීම් අවම කරවන තත්වයක් උදාකෙරෙන බව බලධාරින් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ කොමසාරිස්, ස්ටීවන් හාහ්න්, "මේ ප්‍රතිදේහ ප්‍රතිකාරය සඳහා අනුමැතිය ලබාදීම හරහා COVID-19 ආසාදනය වූ රෝගීන් රෝහල්ගත වීම යම් තරමකින් වළක්වා ගන්න පුළුවන්. ඒ හරහා අපගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය වෙත ඇති වන තදබදය අවම කරගන්නත් හැකි වේවි." යනුවෙන් පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති Regeneron සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙනාර්ඩ් ස්කෙලිෆර්, "මෙය COVID-19 වෛරසයට එරෙහි සටනේ වැදගත් පියවරක්. මේ හරහා එක්සත් ජනපදයේ අධික අවධානමක් පවතින රෝගීන් වෙත ඔවුන්ගේ ආසාදනයට පෙරාතුව වඩාත් විශ්වාසනීය ප්‍රතිකාරයක් ලබා දීමට හැකි වේවි.” යනුවෙන් පවසා තිබේ.