පිටිගල පොරවගම පදිංචි මාපලගම සිරි සුනන්ද විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුර නිවස පිටුපස කැලෑවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව පිටිගල පොලිසිය පවසයි.
මෙම සිසුවා ඉකුත් 11 වැනි දින රාත්‍රී තවත් මිතුරෙකු සමඟ නාගොඩ පොලිස් වසමේ තල්ගසවල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කිරමින් සිටියදී සංචරණ නීති උල්ලංඝනය කරමින් යනු දැක පොලිස් නිලධාරින් යතුරු පැදිය නතර කරන ලෙසට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව පොලිස් නිලධාරින් යතුරුපැදිය සහ අයිතිකරු සොයාගෙන ඇත.
පසුව පෙරේදා (14) මෙම සිසුවා නාගොඩ පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන යතුරු පැදිය පොලිස් බාරයට ගෙන බලපිටිය අධිකරණයට පැමිණෙන ලෙස දන්වා යවා ඇති අතර එම අවස්ථාවේ සිසුවා සමඟ පොලිසියට පැමිණ සිටි ඔහුගේ මවද පොලිසිය තුළදීම ඔහුට බැණ වැදී ඇත.
මේ නිසා ලැජ්ජාවට හා බියට පත්ව සිසුවා මෙසේ ගෙල වැලලා ගන්නට ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි.
මරණ පරික්ෂණය සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර පිටිගල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
- ඩී.ජී. සුගතපාල -

Comments
Post a Comment
Your comment will be visible after approval