කොරෝනා ආසාදිතයින් ක්ෂණිකව හඳුනාගැනීමට භාවිත කරන ඇන්ටිජන් ටෙස්ට් කිට් තොග ලංකාවට ගෙන්වීම දේශපාලන හිතවත්කම මත ලබාදී ඇති බවට මේ වනවිට විවේචනයක් පළවේ. රජය වෙනුවෙන් පුද්ගලික සමාගමක් මේ ආකාර සෞඛ්‍ය උපාංග ආනයනය කරන්නේ නම් වසර දෙකක ලියාපදිංචිය ලබා සෞඛ්‍ය අංශ වල සහතික ලබාගතයුතු නමුත්

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම එවැනි ක්‍රියා පටිපාටියකට අදාළ නැති බව එක් විවේචනයකි. අනෙක් විවේචනය නම් මෙම උපාංග ලංකාවට ගැලපේදැයි සාම්පල පරීක්ෂණයක් සිදුකරන්නටත් පෙරාතුව ගෙන්වා තිබීමය. නියම ආකාරයට මේවා සුදුසු බවට වාර්තාව පළවූයේ ඊයේ (10) වුවත් ඒ තොගය කල් ඇතිවම ලංකාවට ආනයනය කරන්නට යමෙකු උනන්දුවී තිබීම සැකයට භාජනය වන්නකි.
 

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම දෙරණ නාලිකාව හිමිකාර දිලිත් ජයවීර මහතාට සම්බන්ධ ආයතනයක්වීමත් එම නාලිකාව දේශපාලන වශයෙන් වත්මන් ආණ්ඩුවට දක්වන සහයට තුටු පඩුරක් ලෙස මෙම අවස්ථාව ලබාගෙන ඇති බවටද තවත් විවේචනයකි.
මේ අතර  ඊයේ (11 ) දිලිත් ජයවීර මහතා අදාළ චෝදනාව ගැන පුවත්පතකට මෙසේ අදහස් දැක්වීය.
 
 'මේ ගනුදෙනුව සිදු කරන්නේ පෞද්ගලික අංශය හරහා එයට රජයේ කිසිදු සම්බන්ධයක් නෑ. මෙයට රජය සහ ජනාධිපතිවරයා සම්බන්ධ කර අමුතු  ගනුදෙනුවක් ගැන විවිධ අදහස් පළ වූවාට එහි කිසිදු සත්‍යතාවක් නැහැ. ජෝර්ජ් ස්ටුවට් සහ සමාගම වසර 185 ක් පැරැණි සමාගමක්, මේ සමාගම විසින් කරන්නා වූ එක් ව්‍යාපාරික කටයුත්තක් සම්පූර්ණයෙන්ම අභූත තවත් කටයුත්තක් සමග ගැටගසා මේ ගෙන යන්නේ මඩ ව්‍යාපාරයක්. මේකට සිංහලයෙන් කියන්නේ 'මඟුලක් කතා කරන්න යනවා' කියලයි. ජෝර්ජ් ස්ටුවට් සහ සමාගම කියන්නේ හොඳින් ලාභ ලබන ආයතනයක්.'