නිරෝධායනයට ලක්කර සිටින පිරිස් අධික්ෂණයට යමින් සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු ගමන් ගත් පොලිස් ගුවන් විදුලි රථ හරස් කොට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කළැයි කිරුළපන පොලිසිය අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු කළමනාකරුවකුට තරයේ අවවාද කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය.


මෙලෙස පුද්ගලික ඇපයක් මත මුදා හැරුණේ නො. 291/43, මංඩාවිල පාර, පිළියන්දල පදිංචි වතුමුල්ලගේ කේෂාන් සූරියකාන්ත දාබරේ නමැති පෞද්ගලික බැංකු කළමනාකරුවෙකි. තමන් පොලිස් ස්ථාන 9ක අධික්ෂණ රාජකාරි සිදුකරන අතර කිරුළපන පොලිස් වසමේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරිම සඳහා හයිලෙවල් මාර්ගයේ පොලිස් ගුවන් විදුලි රථයෙන් ගමන් කරමින් සිටියදී බෙන්ස් කාර් රථයක් ධාවනය කරමින් සිටි සැකකරු මෙලෙස පරුෂ වචනයෙන් බැණ වැදුණැයි කිරුළපන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සහකාර පොලිස් අධිකාරි ටී.එස්. සේමසිංහ මහතා විසිනි.


තමන් ගමන් කළ දිශාවටම පාරේ අනෙක් පසින් පැමිණි සැකකරු පොලිස් ගුවන් විදුලි රථය බව දැන දැනම එයට අවහිර වන අන්දමින් වාහනය පදවමින් උඹලා හප්පලා මරලා දාන්න ඕන. උඹලා දන්නේ අපිට ලියන්න විතරයි" යනුවෙන් පරුෂ වචන කියමින් බැන වැදී පලා ගිය බව පැමිණිලෙන් ඉදිරිපත් කර තිබිණි.  පසුව කිරුළපන පොලීසිය අදාළ මෝටර් රථයේ අංකය ඔස්සේ පරික්ෂණ පවා සැකකරු සහ ඔහු ගමන් ගත් කාර් රථය ද නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට තරයේ අවවාද කර රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හැරිමට නියම කළේය.


 -නිමන්ති රණසිංහ-