විවාහ තුනක් කරගත් රෙජිස්ට්‍රාර් ජනරාල් වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා

අමාත්‍යාංශයේ සංචිතයට ස්ථාන මාරු කර ඇත.




මොහු නීත්‍යනුකූල විවාහයෙන් පසු එම විවාහය දික්කසාද නොකර කඩුවෙල සහ රාජගිරිය ප්‍රදේශවලින්
තවත් විවාහ දෙකක් කරගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව ස්වදේශ කටයුතු හා අභ්‍යන්තර
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

එම විමර්ශනය කඩිනමින් කරන ලෙස ස්වදේශ කටයුතු හා අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල්
රාජපක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇති බවට වාර්තා වේ.

පසුගිය රජය සමයේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් සම්මුඛ පරීක්ෂණ පවත්වා ලේඛන
සහකාර තනතුරු දී ඇති අතර එම තනතුරු සියල්ලම පාහේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කැඳවන ලද අයැදුම්
පත්‍රවලට අනුව දී වෙනත් දිස්ත්‍රික්ක වෙත පත්වීම් ලබා දී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක්
සම්බන්ධයෙන්ද මෙම රෙජිස්ට්‍රාර් ජනරාල් චෝදනාවට ලක්ව ඇති අතර ඒ පිළිබඳවද පුළුල් විමර්ශනයක්
කෙරෙමින් පවතින බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

විවාහ තුනක් කර ගැනීමේ බහු විවාහ චෝදනාව මත මෙම රෙජිස්ට්‍රාර් ජනරාල්ට විරුද්ධව නීතිමය පියවර
ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.