මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ලැබූ ජයග්‍රහණය නිසා තමන්ට තමන්ව හඳුනාගැනීමට අවස්ථාවක් ලැබුණු බවත්, එය කිසිසේත් පහසු ඉලක්කයක් නොවූ බවත් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
ෙඔහු වැඩිදුරටත් පවසන්නේ, මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් තමන් ඇතුළු කණ්ඩායම අවශ්‍ය ප්‍රමාණයට කැපකිරීම් කළ බවයි. කෙසේ නමුත් කිසිලෙසකින්වත් එය අනවශ්‍ය ප්‍රමාණයට නොකළ බවත් ඔහු පැවසීය.
තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

"මම හිතන්නේ මට මාව තේරුම් කරන්න පුළුවන් වෙයි. නමුත් මම හිතන්නේ නෑ ඒක ලේසි වුණා කියලා." යැයි මහේල පවසයි.


මෙම ජයග්‍රහණය මුම්බායි කණ්ඩායමේ පස්වැනි ශුරතාව වූ අතර, මීට පෙර මුම්බායි ලැබූ ජයග්‍රහණ 2013, 2015, 2017 හා 2019 යන ඔත්තේ වර්ෂයන්ට සීමා විය.

කෙසේ වෙතත් මහේල මෙම ජයග්‍රහණ රටාව වෙනස් කරමින් පළමු වරට එක ළඟ වර්ෂ දෙකකදී මුබායි කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

"අපි මෙම තරඟාවලියට පිවිසුණේ පසුගිය වර ශූරයන් කියන දේ හා මුම්බායි එක ළඟ වසර දෙකක් ජයග්‍රහණය නොකරයි කියන ලේබලය සහිතවයි. ඒ නිසා මට ජයග්‍රහණයට ක්‍රීඩකයන් පෙළගස්වන්න අවශ්‍ය වුණා.
අපිට මේක අමාරු තරඟාවලියක්. ඒ වගේම රිකී (දිල්ලි කැපිටල්ස්හි පුහුණුකරු) හා ඔහුගේ කණ්ඩායමත් අපිට ඉතා අමාරු ප්‍රතිවාදීයෝ වුණා. තරඟාවලියට අපි ගොඩක් කැපවුණා. එහිදී ක්‍රීඩකයෝ කළමනාකරණය කරන්න ගොඩක් උත්සාහ ගත්තා. නමුත් අපි වැඩිපුර මහන්සිවීමට හෝ තරඟාවලිය පහසුවෙන් අවසන් කිරීමට උත්සාහ කළේ නෑ." යනුවෙන් මහේල පැවසීය.


2017 වර්ෂයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් පසු මහේල ඔවුන්ව අයි. පී. එල්. අවසන් තරඟ ත්‍රිත්වයක් (2017,2019, 2020) කරා රැගෙන යාමට සමත්විය. මේ අතර තරඟාවලියේදී වඩාත් සාර්ථක වූ මුම්බායිහි පිතිකරණ අංශය සම්බන්ධයෙන් මහේල අදහස් දැක්වීය.

"පිතිකරණයේදී විශාල පහරවල්වලට යාම අපේ පිතිකරුවන්ගේ ජානවලම තියෙන දෙයක්. නමුත් අපි
සමබරතාව රැකගන්න පිතිකරුවන් දිගු ඉනිම්වලටත් ටිකක් හුරු කළා. ඒ ගෞරවය අපේ කළමනාකාරීත්වයට  හිමිවිය යුතුයි".

කෙසේ නමුත් ක්‍රීඩාගාරයේදී සිය ක්‍රීඩකයන්ට තරමක් තද ගති ඇති පුහුණුකරුවෙකු ලෙසින් ප්‍රකට මහේල පැවසූයේ, එම සියලු වෙහෙස මහන්සි වී වැඩ කිරීම් මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල බවයි.

"මම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එතරම් මෘදු වෙන්නේ නැති වෙලාවල් තිබෙනවා. නමුත් කණ්ඩායමක්
ලෙසින් තරඟ රහිත කාල සමයේදී (Off-Season) අපි මහන්සි වෙලා වැඩ කළා. අද මෙම ජයග්‍රහණය එහි කූටප්‍රාප්තියයි.” යනුවෙන් මහේල මෙහිදී වැඩිදුරටත් පැවසීය.

- ඕෂිත වරකපිටිය -