මහර බන්ධනාගාරයේ ඊයේ (29) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් ඝාතනය වූ පිරිස තවත් ඉහළ ගොස් තිබේ. මේ වනවිට වාර්තා වන ආකාරයට බන්ධනාගාරයේ වෙඩිවැදී ඝාතනයවූ රැඳවියන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
තුවාල ලැබූවන් ගණන 70ක් පමණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කර තිබේ.
මේ අතර බන්ධනාගාර නියාමකවරයෙකුද බරපතල තත්වයේ පසුවෙමින් ප්‍රතිකාර ගන්නා බව වාර්තාවේ.
මේ අතර  මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නාය.
මෙම ගැටුම සැලසුම් සහගතව කළ කුමන්ත්‍රණයක් බවට ඇය අදහස් දක්වා තිබේ.
මහර බන්ධනාගාරය තුළ උද්ගත වූ සිදුවීම කොරෝනා රෝගීන් වැඩිවීම නිසා ඇතිවූ තදබදය හේතුවෙන් නිර්මාණය වූවක් නොව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීම සඳහා සංවිධානාත්මකව ඇති කළ කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විමල් වීරවංශද පාරලිමේන්තුවේදී කියා තිබේ.
විමල් මෙසේ කීය.
“මෙම හිරගෙදර ඇතිවුණු තත්වය මම පෞද්ගලිකව කරුණු සොයා බැලීමක් කළ නිසයි මම මේ නැඟී සිටියේ. මම කියන්න ඕනෙ මේක මේ ඇතිවී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි. බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයං කියලා හිටපු පසුගිය කාලෙ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලයෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්, ඒකට කියනවා රිවස් කියලාත්. ඒ පෙත්ත ගෙනල්ලා දවස් දෙකකදි හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා.

ඒ පෙත්ත ගැහුවාම ගරු කථානායකතුමනි, කෙනෙකුගේ ලේ දකින්න ඕනා. මේ ගොල්ලො මේ අත්හදා බැලීම කරලා මේ ගොල්ලො ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදාහැරලා මිනීමරන තත්වයක් ඇති කරගන්න. මේක ඇත්තටම මෙහෙයවූයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරයො කණ්ඩායමක් තමයි මේ චතුරංග කියන කෙනාව මෙහයවූයේ.

මේක බුද්ධි අංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීපදෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්වය ඇති කරගන්න බැරිවුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකෙ බැකප් ප්ලෑන් එක සිද්ද වෙලා තියෙනවා. මේක අපි හිතන්න නරකයි මේ තදබදය විසින් ඇති වෙච්ච ආතතියක පුපුරා යාමක් කියලා ( සිනාසෙයි ). ඒක එහෙම හිතන්න කෙනෙකුට ලේසියි, හැබැයි මං මේක දන්න නිසයි කියන්නේ. මෙතන තියෙන්නෙ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා, ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තරව අපවාදයක් ඇතිකිරීම සඳහා ඕනෙ කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකෙ ඇත්ත කතාව. මේක එහෙම නැතුව කොරෝනා රෝගීන් වැඩිවෙලා නෙවෙයි”

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.