පස්සර සිට කොළඹ බලා යෑමට පැමිණෙමින් සිටි මව, දුව ඇතුළු පස් දෙනකු පැමිණි සුඛෝපභෝගී රථයක්
මත්තල අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයෙහිදී පෙරළී යෑමෙන් සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ මව සහ
දියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 163/සී, අයි. ඩී. එච්. පාර, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ලිපිනයෙහි
පදිංචිව සිටි මාකේවිටගේ ලෙටිෂියා හෙලන් විජේවර්ධන නමැති හතළිස් හත් හැවිරිදි මව සහ රසත්චිරා
ඩිසානා තිසරණී නමැති ඇගේ විසි හැවිරිදි දියණියයි.

මියගිය අය පවුලේ සෙසු අය සමඟ බදුල්ල පස්සර දැමේරියා පාරේ පිහිටි නිවෙසට ගොස් ආපසු
මුල්ලේරියාවේ පිහිටි දැනට
ඔවුන් ස්ථිර පදිංචිව සිටින නිවෙසට යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාව වන විට මෝටර් රථයෙහි මියගිය මව, ඇගේ ස්වාමිපුරුෂයා, දරු දෙදෙනා සහ
මියගිය දියණිය ගමන් කර ඇති අතර පුතා මෝටර් පදවාගෙන ගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ පියා සහ අනෙක් දියණිය ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් රිය පැදවූ අයට සුළු තුවාල පමණක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයෙහි පිටුපස රෝදයක් එකවර පුපුරා යෑමෙන් මෝටර් රථය
පෙරළී ගොස් මෙම රිය අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය. මෙම රිය අනතුරින්
බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කරන විටත් මව මියගොස්
තිබිණි. දියණිය ලුණුගම්වෙහෙර රෝහලෙන් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී
ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

මියගිය මවගේ මෘතදේහය තිස්සමහාරාම මෘත ශරීරාගාරයෙහි තබා ඇති අතර, දියණියගේ මෘත ශරීරය
හම්බන්තොට දිස්ත්‍රික් රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තබා තිබේ.

මෙම මියගිය දෙදෙනා පිළිබඳව සිදුකරනු ලබන පී. සී. ආර්. පරීක්ෂණ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බව තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා පැවැසීය.

තිස්සමහාරාම _ රංජිත් මාදලගේ, මත්තල - ඩී. එන්. ජයසේකර
ඡායාරූප _ මත්තල - ඩී. එන්. ජයසේකර