පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු ආලින්දයේදී පහරදීමට දැරූ උත්සාහයක් ඒ අසල සිටි මන්ත්‍රීවරුන් පිරිසක් මැදිහත් වී වළක්වා ඇතැයි වාර්තා වෙයි.  

කැටගොඩ මන්ත්‍රීවරයා විසිවැනි සංශෝධනයේ ද්විත්ව පුරවැසි වගන්තියට විරුද්ධ නොවන්නැයි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙය එම මන්ත්‍රීවරුන් විමල් වීරවංශ මහතාට දැනුම් දීමෙන් පසුව ඔහු අගමැතිවරයාට ඒ මොහොතේම පැමිණිලි කර ඇති බවත් පැවසිණි.


අගමැතිවරයා ඒ පිළිබඳ කැටගොඩ මහතා කැඳවා ප්‍රශ්න කර ඇති බවත් පහරදීමට තැත් කිරීම වී ඇත්තේ ඒ සිද්ධියෙන් පසුව බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

කෙසේ වෙතත් ඒ පහරදීමට තැත් කිරීම වන අවස්ථාවේදී අගමැතිවරයා එහි සිට නොමැත. මේ සිද්ධිය ඇත්ත දැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (ස.ජ.බ.) ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගෙන් මැති සබයේදී ඊයේ (21) ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් කැටගොඩ මහතා අනුන්ගේ රෙදි හෝදන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගන්න යැයි පැවැසීය.

කැටගොඩ මහතා අතර ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූ උණුුසුම් තත්ත්වය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍ය විමසීමක් කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එහිදී කිසිම පහරදීමක් සිදු නොවුණ බවත් ඔහු කිසිවෙකුගේ ‘හුංගෙක්’ ලෙස කටයුතු කර ඇති බවයි.

සිය පක්ෂයේ පිරිසක් කඩා වෙන්කිරීම සඳහා ඔහු කටයුතු කරන බවට මන්ත්‍රී පිරිසක් තමන්ට සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමන් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කරන අවස්ථාවේදී ජයන්ත කැටගොඩ මහතාද එම ස්ථානයේ සිටි බවත් අමාත්‍යවරයා පැවැසීය.