පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ බිරියන් පිළිබඳ හුටපටය ගැන මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවකි. ඔහුට විවාහ දෙකක් ඇති බව ප්‍රකටය. පළමුවන්න නීත්‍යනුකූලය. දෙවැන්න එසේ නැත. පළමු විවාහයෙන් මදුෂ්ට පුතෙකු සිටී. මාතර කඹුරු පිටියේ මුල් කසාදය අතහැර ගිය මදුෂ් ඩුබායි වෙත පළායන්නේ

තම මියගිය පාතාල සගයා වන කළුතුෂාරගේ පියකරු බිරිය තම අනියම් භාරියාව බවට පත් කරගෙනය. ඊයේ මදුෂ්ගේ අවසන් කටයුතු සිදුවූයේද මහරගම පමුණුව පදිංචිව සිටි ඇයගේ නිවසේදීය. මදුෂ්ගේ මරණය සමග මුල් බිරිය හා දෙවන බිරිය අතර විරසකයක් ඇති නොවුණි.
අධිකරනයෙන් දේහය මුල් බිරියට ලබාදුන්නත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා අවසන් කටයුතු දෙවන බිරියගේ නිවසේ කරන්නට මුල් බිරිය කැමතිවිය. දෙවන බිරිය සමග විවාහයෙන් මධුෂ්ට දියණියකද සිටී.

කළුතර  එතනමඩලේදී බන්ධනාගාර බසයක් තුළදී 2017දී සමයං නමැති පාතාල සිරකරු ඝාතනය කරන්නේ මධුෂ්ය. ඔහුගේ නම පාතාල ලෝකයට අමුත්තක් නැතත් බාහිර සමාජයට හඳුන්වාදෙන්නේ එම ඝාතනයෙන් පසුය.

ඉන්පසු මධුෂ් නාමය පාතාල ලෝකයේ ගෝඩ් ෆාදර්වරයකු ලෙස ඉහළට එසවෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියාව සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතාට පිළියන්දලදී

එල්ල කෙරුණු ප්‍රහාරයත් සමඟිනි.  එම ප්‍රහාරයෙන් රංගජීවගේ දිවි රැකුණත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සැරයන්වරයෙකුගේත් මහ මඟ සිටි දැරියකගෙත් දිවි අහිමි වන්නේ රංගජීවට තැබූ වෙඩි උණ්ඩවලට ගොදුරු වෙමිනි. විමර්ශනවලින් එකල හෙළි වූ ආකාරයට අනුව එම ප්‍රහාරය සැලසුම් සහගත ව එල්ල වූවකි. ඒ සඳහා මාකඳුරේ මධුෂ් යොදා

ගන්නේ රංගජීවගේම ඔත්තුකරුවෙකි. ඒ ඔහු තමා වෙත නම්මාගෙනය. ප්‍රහාරයෙන් පසු එම ඔත්තුකරු බිරිය

සහ දරුවන් සමඟ බෝට්ටුවකින් ඉන්දියාවට පැන්නවීමටද මධුෂ් වගබලා ගත්තේය.

රංගජීව මරා දැමීමට තරම් මධුෂ්ට එතරම් තදබල හේතුවක් තිබී නැත. රංගජීව මරා දැමීමට ඔහු සැලසුම් කරන්නේ යැයි කියැවෙන්නේ අනියම් බිරියගේ දොළදුකක් සංසිදුවන්නටය. ඇය දිලිණි ඉෂාරා ය. ඇය මහරගම පැත්ත හොල්ලාගෙන සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන කළු තුෂාරගේ විවාහක බිරියය. ඇය මධුෂ්ගේ අනියම් බිරිය බවට පත් වන්නේ 2012 වසරේ නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වන කැරැල්ලේදී වෙඩි වැදීමකට ලක්ව කළු තුෂාර මරුමුවට පත් වීමත් සමඟිනි. එදා සිරකරුවන් 27 දෙනෙක්ම වෙඩි වැදීම්වලින් මරුමුවට පත්වූහ. ඒ අතර වැඩි දෙනෙක්ම සිටියේ පාතාලයේ මත්කුඩු

ජාවාරම්කරුවෝය. ඇය විශ්වාස කරන්නේ එකී මරණවලට රංගජීව වගකිව යුතු බවය. විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමඟද එක්ව ඇය රංගජීවට එරෙහිව බොහෝ දේවල් කළේය. රංගජීව වෙඩි ප්‍රහාරයකට ලක් වන්නේ ඇය ගැබිනියක බවට පත්වූ පසුබිමකය.

මධුෂ් ඩුබායි පොලීසියට පසුගිය වසරේ පෙබරවාරි 05 වැනිදා අලුයම කොටුවන්නේද මධුෂ්ට දාව ඇයට උපන් දියණියගේ පළමු උපන්දින සැමරුමේදීය. එදා පාතාලයේ ගොන්නක්ම එම සාදයේ රැඳී සිටියහ. අමල් පෙරේරා, නදිමාල් පෙරේරා සහ රයන් යන කලාකරුවෝ ඒ සාදය හැඩ කරන්නට එදා එහි ගොස් සිටියහ.

ඒ අයටත් සිදුවන්නේ මධුෂ් සමඟ ඩුබායි හිරේ තපින්නටය. මේ අය එකිනෙකා මෙරටට පිටුවහල් කරන විට මධුෂ්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන්නේ ඇයය.

මධුෂ් ඩුබායි රටේම තබාගැනීමට ඇය නොගත් වෙහෙසක් නැති තරම්ය. නීතීඥවරුන්ගේ සහාය ලබාගත්තේ කෝටි ගණන් වැය කරමිනි. ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත් වන්නේ පැවැති ආණ්ඩුව මධුෂ් මෙරටට ගෙන්වාගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකව කළ මැදිහත් වීම ඇය විසින් නීතිඥයන් මඟින් කළ බලපෑමට වඩා තීව්‍ර වූ නිසාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි ගොස් ඉකුත් මැයි මාසයේදී මෙරටට රැගෙන ඒමත් සමඟ මධුෂ්ගේ ව්‍යාපාර බලාකියා ගැනීමේ වගකීම පැවරෙන්නේ දිලිණිටය. මධුෂ් එරට රැඳී සිටියේ ආයෝජන වීසා බලපත්‍රයකිනි. ඒ වෙනුවෙන් ඔහු එරට ගරාජයක් පවත්වාගෙන ගියේය. එම ගරාජය නමට පමණක් පවත්වාගෙන ගිය එකක් මිස ආදායම් ලැබූවක් නොවීය. ඔහු ආදායම් ලැබුවේ මත්කුඩු ජාවාරමෙන් සහ පාතාල ආර්ථික කටයුතුවලිනි. මධුෂ් පොලීසියට කොටු වීමත් සමඟ ඒ සියලු ආදායම් මාර්ග වැසී යන්නේ දිලිණිට තවදුරටත් ඩුබායි රටේ ජීවත්වන්නට නොහැකි තත්ත්වයක් උදා කරමිනි. ඒ වන විට කළුතුෂාරට දාව උපන් ඇගේ වැඩිමහල් දරුවාද සිටියේ ඩුබායිවලය.

දහසය හැවිරිදි මේ දරුවාද මධුෂ්ගේ විවාහක බිරිදගේ දරුවාද සිටියේ ඩුබායි හීය. යම් රෝගී තත්ත්වයකින් ජීවත් වූ එම දරුවාට පණ මෙන් මධුෂ් ආදරය කළේය. ඒ දරුවා දහනම වියැතිය. මධුෂ්ට දාව දිලිණිගේ තවත් දියණියක් සිටී. ඇයට ලැබුණු පෙළපත් නාමය වූයේ වර්ණකුලසූරිය නාමයයි. සමරසිංහ ආරච්චිලාගේ නම් වූ මධුෂ්ගේ පෙළපත් නාමය වෙනුවට ඇයට ඇත්තේ වෙනත් පෙළපත් නාමයකි. ඊට මුල් වන්නේ මධුෂ් ඩුබායි රටේ පෙනී සිටියේ අජිත් එරංග වර්ණකුලසූරිය නම් වූ පුද්ගල වේශයකින් වූ බැවිනි. දියණියගේ පෙළපත් නාමයට එම නාමය යොදන්නට සිදු වන්නේ එබැවිනි. ඩුබායි හී ජීවත්වන්නට බැරිම තැන ඇය මේ දරුවන්තිදෙනාද සමග මෙරටට එන්නේ 2019 දෙසැම්බර් 29 වැනිදාය.

ඒ වන විටත් ඇගේ පැමිණීම කෙරෙහි බුද්ධි අංශ ඇස ගසාගෙන සිටියේය. ඇය පැමිණි ගුවන් යානය අලුඅයම 5.35ට ගොඩ බස්සවන විටත් ඇය එහි සිටින බව ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ දැන සිටියේය. රේගු සහ ආගමන විගමන අංශවල පරීක්ෂාවලින් පසු ඇය සූදානම් වන්නේ දරුවන් තිදෙනා ද සමඟ ගුවන් තොටුපොළින් පිටතට යන්නටය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ගෙන් ඊට ඉඩක් නොවීය. ඇය සිය භාරයට ගන්නේ දරුවන් තිදෙනාද සමඟිනි.

“ඩුබායි වියදම් වැඩියි. ආදායම් මාර්ගයක් නැති නිසා ජීවත්වෙන්න විදිහක් නැහැ. ඒ නිසයි දරුවොත් එක්ක ලංකාවට ආවේ“ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සිය හඬ අවදි කර ඇත්තේ එසේය.

රංගජීවට වෙඩි තැබුවේ කවුරුන්දැයි ඒ වන විටත් මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ හෙළි කර තිබිණි. එම ප්‍රහාරය මෙහෙයැවූවේ තමන් විසින් බවද ඔහු කියා ඇතත් සිය අනියම් බිරියගේ දොළදුක සංසිදුවන්නට එම ප්‍රහාරය එල්ල කළ කතාවක් නම් ඔහු එහිදී කියා නැත. ඒ නිසා රංගජීවට එරෙහි ප්‍රහාරය සම්බන්ධයෙන් ඇයට චෝදනාවක් එල්ල කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉඩක් නොවීය. සිදු වන්නේ ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර දරුවන්ද සමඟ මුදා හරින්නටය. එම ප්‍රශ්න කිරීම්වලදී ඇය බොහෝ දේවල් පවසා ඇත. සිය සහෝදරයා ඝාතනය කළ අයගෙන් පළිගන්නා තුරු

මධුෂ් කිරිබත් සහ කේක් නොකන බව ඇය කීවාය. මධුෂ්ගේ සහෝදරයා ඝාතනය වන්නේ නාඳුනන පිරිසක් විසින්පැහැරගැනීමකින් අනතුරුවය. ඒ 2009 වර්ෂයේදීය.


එකල ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ජනාධිපතිවරයාව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ මධුෂ්ගේ කුමන්ත්‍රණයක්ද එම වකවානුවේදීම එළියට ආවේය. එල්.ටී.ටී.ඊ.යේ සහාය ඇතිව කරන්නට සූදානම් වූ එම ඝාතන සැලසුම ව්‍යවර්ථ වන්නේ කල් තියා බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණු බැවිනි. ඒ නිසාම මධුෂ්ට බොහෝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ලගින්නට සිදු විය. ඇප මත ඔහුට නිදහසක් ලැබෙන්නේ 2014 වසරේදීය. අජිත් එරංග වර්ණකුලසූරිය නමින් ඔහු ඩුබායි පනින්නේ එම නිදහසත් සමඟිනි.

මධුෂ්ට දේශපාලන සම්බන්ධකම්ද බොහෝය. ඒ පක්ෂ විපක්ෂ භේදයකින් තොරවය. ඒ අය අතර පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද සිටියහ. ඒ එක් ඇමතිවරයෙක් ඩුබායි හීදී මධුෂ් මුණ ගැසුණහ. එදා ඒ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයාට කම්සැප පවා ලබා දෙන්නට මධුෂ් අවශ්‍ය පියවර ගත්තේය. මෙරටට රැගෙන ඒමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී පවා මධුෂ් ඒ බව තහවුරු කළ බව කියැවිණි. ඒගැන අඩුම තරමින්අදටත් එම ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මධුෂ්ට දුරකතන පහසුකම් පවා ලබාදී තිබුණු බව කියැවිණි. ඒ බව පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදී නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සිටි ඉහළ නිලධාරීන්ගෙන්ප්‍රශ්නද කර තිබිණි. ඒත් සමඟම මධුෂ් රඳවා ඇති සිර මැදිරිය පැත්තේ ගැවසෙන්නට අවසරය තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තෝරාගත් නිලධාරීන් කිහිප දෙනෙකුට පමණි. ඒ මධුෂ්ට ජංගම දුරකතනයක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම ගැන තොරතුරු එළියට යෑම නිසාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොවන විශේෂ පොලිස් කණ්ඩායම්වලට පවා මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට එකල අවසරය හිමිව තිබුණේ සීමිත කාල පරාසයකට පමණි. ඒ පැමිණෙන විශේෂ පොලිස් කණ්ඩායම්වලට කිසිවක් නොපවසන ලෙසටද මධුෂ්ට උපදෙස් ලැබී තිබුණේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ගෙන්මය. මධුෂ් විසින් කළ අපරාධ හෙළි කරගෙන ඔහුට එරෙහි සාක්ෂි රැස් කරනවා වෙනුවට මධුෂ්ව එදා ඇතැම් නිලධාරීන් හුරතල් කළේ එසේය. 

තොරතුරු - ගයාන් කුමාර වීරසිංහ