හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට ගත් බන්ධනාගාර ජේලර් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම හැරුණුවිට හෙරොයින්ටලට තදින් ඇබ්බැහි වූවකු බව ද පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි. 

මෙම ජේලර් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම ප්‍රදේශයේදීය. රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ජේලර් සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන අතර ඔහු පොලිස් සිර මැදිරියේ රඳවා සිටිය දී පානය කිරීමට මක්කුඩු ඉල්ලා පෙරලි කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (21) පැවසීය. 

කළුතර බන්ධනාගාරයේ රාජකාරි කළ මෙම සැකකාර ජේලර් බන්ධනාගාරයෙන් පිටත සිට සමහර රැඳවියන් අතට පත් කිරීමට තාප්පයෙන් විසි කරන හෙරොයින් මත්කුඩු පාර්සල් අහුලාගත් අවස්ථාවල ඒවා බලධාරින් අතට පත් නොකර සඟවා තබාගෙන අලෙවි කර ඇති බවට

පරික්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි. 

මෙසේ අහුලා ගන්නා හෙරොයින් මත් කුඩුවලින් කොටසක් පානය කරන බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇතැයි කියති. 

මත්කුඩු පානය කිරීමට පුරුදු වූයේ මීට මාස 02ක පමණ කාලයක සිට බව සැකකාර ජේලර් පවසන්නේ යැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පමණ සමග මෙම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පුත්තලම දිසා ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 18 වැනිදා මධ්‍යම රාත්‍රියේදීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, එහි නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත පුත්තලම දිසා ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ජේ.ඒ. ජගත් සුජීව මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් ජයසුන්දර (34476), කොස්තාපල්වරුන් වන ගමගේ (11866), සෙනවිරත්න (83134), ධනපාල (83197), විජේරත්න (30946), ජයසිංහ (88669) යන මහත්වරු සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යති.

- ප්‍රසන්න ජයසූරිය -