වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කළ අලෙවි ප්‍රවර්ධන නිලධාරින් දෙදෙනකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බව පෙරේදා (17) වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙසේ වයිරසය ආසාදනය වී ඇත්තේ මහරගම, ඇරැව්වල, පතල්වත්ත ප්‍රදේශයේ සහ පැළැන්වත්ත, කුරුලු  උයන ප්‍රදේශයේ සිවුදෙනකුට බව පැවසේ. ගනේමුල්ල බැංකු ශාඛාවක ආසාදිතයකු වැල්ලවත්ත  බැංකු ශාඛාවට පැමිණීමත් සමග එහි නිලධාරියකුට ඉකුත් 12 වැනිදා කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා විය. 


ඒ අනුව එම බැංකු ශාඛාවේ සේවය කළ නිලධාරින් දින දහහතරක් ස්වයං නිරෝධායනයට ලක්කොට පී.සී.ආර්. පරික්ෂණයන් ද සිදුකර ඇති අතර මෙම පවුල් දෙකෙහි මව්වරුන් දෙදෙනාට සහ පුතුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇති බවට එහිදී හෙළි වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු පවසති.  ඒ අනුව මහරගම පොලිසිය හා පිළියන්දල පොලිසිය එක්ව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් එම නිවෙස් දෙකට ගොස් කාන්තාවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලටත් අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනා කොස්ගම දිසා රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගත් බව පැවැසේ. කොට්ටාව සමුපකාරයක් හා මාළු අලෙවිසලක් වසා දමා එහි සේවක සේවිකාවන් නිරෝධායනයට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. මේ අනුව පිළියන්දල සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශවලට අයත් 17 දෙනකු පමණ නිරෝධායනයට ලක්කර ඇත.

-ශාන්ත ප්‍රදීප් කුමාර-