කෝවිඩ්-19 තත්ත්වය නිසා බස් රථවල ගමන් කරන මගී ප්‍රමාණය 50%කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබෙන බවත්, මේ නිසා සති අන්තයේදී බස් රථ ධාවනය 30% දක්වා අඩු වූ බවත් බස් හිමියන්ගේ සංගම් සඳහන් කරති.

මගීන් නොමැති වීම නිසා දෛනිකව ධාවනය කරන බස් රථවලට පවා නිසි ආදායමක් නොලැබෙන බවත්, සති අන්තයේ බස් රථවලින් 70%ක් ධාවනය නොවුණද රජයට ගෙවිය යුතු සේවා ගාස්තු හා ලීසිං වාරික නිසි ලෙස ගෙවිය යුතු බවත් සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන බස් රථවලින් මාසිකව ලොග් බලපත්‍ර ගාස්තුව ලෙස

රුපියල් 1000ක මුදලක් ලබාදිය යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය. 

මීට අමතරව ලීසිං වාරික නිසි ලෙස ගෙවිය යුතුව තිබෙන බවත්, මේ නිසා බස් හිමියන්ට කඩිනමින් සහන අවශ්‍ය බවත් ඔහු පවසා සිටියේය. බොහෝ බස් රථවල ආසන ප්‍රමාණය සැලකීමේදී ආසනවලින් 50%කට වඩා මගීන් නොමැති අතර, ඒ හේතුවෙන් බොහෝ බස් රථ දෛනිකව ධාවනයෙන් ඉවත් කරගැනීමට සිදුව තිබෙන බවත්, ධාවනය කරන බස් රථයට ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා බස් හිමියන්ට දිගින් දිගටම පාඩු සිදුවෙමින් තිබෙන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා බස් රථ කර්මාත්තය පවත්වාගෙන යෑමට කඩිනමින් සහන අවශ්‍ය බවත්, මේ නිසා ලීසිං වාරික ගෙවීමේ සහන හා රජය මාසිකව අය කරගන්නා මුදල ලබාගැනීම නවතා දමා ඉන්ධන සහනාධාරයක් බස් හිමියන්ට ලබාදිය යුතු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

- ඉන්දික හේවාවිතාරණ -