තමන් ජනාධිපතිවරණයේදී පරාජයට පත් වුවහොත් රටින් පිටව යන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ රැලියකදී පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතය. සිය දෙවැනි හා අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ස් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. හෙතෙම හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවීය. 

“ඔබ දන්නවාද ? ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ නරකම අපේක්ෂකයා සමඟ

ජනාධිපතිවරණයට තරඟ කිරීම මට ලොකු පීඩනයක්" යැයි ජෝර්ජියා ප්‍රාත්තයේ මේකන් හී සිකුරාදා (17) පැවැති රැලියකදී ට්‍රම්ප් කීය.

“ඔබට හිතාගන්න පුළුවන් ද මම පැරදුණොත් ? මගේ ජීවිතේට මොකද වෙන්නේ ? මම මොකද කරන්නේ ? දේශපාලන ඉතිහාසයේ නරකම අපේක්ෂකයාට පැරැදුණොත් මම මොනාද කියන්නේ? මට හිතාගන්න බැහැ. සමහර විට මට රටින් යන්න වෙයි. මං දන්නේ නෑ" යැයි ට්‍රම්ප් කීය.

ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජයට වුවහොත් ඔහුට චෝදනා කිහිපයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ.

ජනාධිපති ධුරය හොබවන බැවින් ට්‍රම්ප් එම චෝදනාවලින් ආරක්ෂා වී සිටියි. කෙසේ නමුත් මේ වනවිට ට්‍රම්ප්ට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. ආදායම් බදු නොගෙවීම, පෞද්ගලික පුරවැසියකු ලෙසත් සිය පවුලේ ව්‍යාපාර වලිනුත් අයථා ලෙස මුදල් ඉපැයීම යනාදි චෝදනා ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වී තිබෙන අතර පරික්ෂණ ක්‍රියාත්මක වන්නේ ඒ සම්බන්ධයෙනි. ඊට අපහරණ, අල්ලස් ලබාගැනීම සහ මූල්‍ය චෝදනා කිහිපයක් ද ට්‍රම්ප්ට එල්ල වී තිබේ.