ප්‍රංශයේ පැරිස් නුවරට ඔබ්බෙන් පිහිටි පාසලක් ආසන්නයේදී එරට ඉතිහාස ගුරුවරයෙකු ගෙල සිඳ ඝාතනය කළ පුද්ගලයා ත්‍රස්තවාදී සංවිධාන හා සබඳතා පැවැත්වූ අයෙකු බවට කරුණු වාර්තා වන බව ප්‍රංශ පොලීසිය පවසයි. මෙම ඝාතනයෙන් පසුව සිදු කළ පොලිස් වෙඩි තැබීමකදී අදාළ පුද්ගලයාද මරණයට පත්ව තිබේ. 

ඒ අනුව එරට ත්‍රස්ත විරෝධී අංශය ඔහු පිළිබඳ මේ වනවිට තොරතුරු විමර්ශනය කරමින් සිටින බවත් පැවසෙයි. පසුගියදා මෙම ගුරුවරයා මුහම්මද්තුමන් හා සම්බන්ධව චිත්‍ර කතා ඇඳීම පිළිබඳව සිය ඉතිහාසය අධ්‍යයනය කරන සිසුන් සමඟ විවෘත සාකච්ඡාවක් සිදු කර ඇති අතර, මෙම ඝාතනය හා එම සිදුවීම අතර සබඳතාවක් පවතින බව බලධාරීන් විශ්වාස කරයි. 


මෙම ඝාතනය සිදු කළ තැනැත්තා වයස අවුරුදු 18ක චෙච්නියානු ජාතිකයෙකු වන බවත්, ඔහු රුසියාවේ මොස්කව් නුවරදී උපත ලබා ඇති බවත් හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා සතුව පිහියක් සහ ප්ලාස්ටික් උණ්ඩ විදිය හැකි තුවක්කුවක්ද තිබූ බව පොලීසිය පවසයි.

ගුරුවරයා ඝාතනයට ලක් වූ පාසල ඉදිරිපිට සිට යාර 600ක් පමණ දුරකින් පිහිටි ස්ථානයකදී ඔහු මෙලෙස පොලිස් වෙඩි පහරට ලක්ව ඇත. ඔහු අත තිබූ ගිනිඅවි ඉවත් කරන ලෙස සිදු කළ පොලිස් නියෝගයට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම මෙලෙස වෙඩි තැබීමට හේතුව වූ බව පොලීසිය පවසයි.

මෙම ඝාතනයෙන් පසුව ඒ වෙත ගිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන්ද මෙය ත‍්‍රස්තවාදී ප්‍රහාරයක් බවට පවසා තිබේ. සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.