පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට ගිය වෙළෙඳුන් ආශ්‍රිත දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයන් 144දෙනෙකු නිරෝධායනයට යොමු කර පිහිටුවා ඇති කළුබෝවිල මංගල පාරේ සාන්ත ජෝන් ප්‍රාථමික විදුහල් පරීශ්‍රයේ සිටින අයගෙන් තිදෙනෙකු හට ඊයේ (25දා) පැමිණි පී.සී.ආර් පරික්ෂණ වාර්තා අනුව කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් .ජී .අජිත් සංජීව මහතා කියා සිටී.
  

මේ හේතුවෙන් එම තිදෙනා වහාම ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර, අනෙක් 141දෙනා විදුහල් ශාලාවලම වැඩිදුරටත් නිරෝධායනය සඳහා යොමු කළ බව ඒ මහතා පවසා සිටී. 

එමෙන්ම දෙහිවල හිල්ඩා නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති මාළු වෙළෙන්දාගේ පවුලේ සාමාජිකයින් 8දෙනෙකු ඇතුළු තවත් පවුල් 6ක සාමාජිකයන් එම නිවාසවලම නිරෝධායනය කරවීමටත්, ආසාදිත පුද්ගලයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත්  කරවීමටත් , නිවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයට අනුව පිටතට යා නොහැකි පරිදි විශේෂ පොලිස් මුර පොළක්ද 25වන දින ස්ථාපිත කරනු ලැබිණැයිද සියලු ප්‍රදේශ විෂබීජානුහරනයටද ලක්කළ බවත් අජිත් සංජීව මහතා වැඩිදුරටත් කියා සිටී.

 - එච්.එම්. ධර්මපාල -