ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට ජීවන අරගලය සිදුකිරීමට එය බොහෝ පීඩාකාරී වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (06) උදෑසන යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග කළ යුතුව ඇත්තේ රට ලොක් ඩවුන් කිරීම නොව ආශ්‍රිතයින් සොයා ගෙන එය පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම බව ද හමුදාපතිවරයා පැවසීය.



පළමු ආසාදිත කාන්තාව වාර්තා වු වහාම ප්‍රදේශ තුනකට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශවල සිට සේවයට පැමිණීම නිසා බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සමග කරුණු කිහිපයක් සාකච්ඡා කර අද දිනය වන විට මෙම තත්ත්වය පවත්වාගෙන යනු ලබන බවත් සඳහන් කර සිටි යුද හමුදාපතිවරයා, “මෙම ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයේ නියුතු වෙනවා. තවත් 400ක ප්‍රමාණයක් සනීපාරක්ෂක සේවය අනුයුක්තව සිටිනවා. මේ අයගෙන් 495ක් හැරුණු කොට ගෙන අනෙක් සියලු දෙනාම සිටින්නේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශය තුළයි. ඉතිරි 495 දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. මොවුන්ගේ සේවය මේ වන විට නවත්වා සිටින නිසා කර්මාන්ත ශාලාවේ එම බලප්‍රදේශවලින් පිටත්ව ගිහින් සිටිය සියලු අය ඊයේ දිනයේ දී හඳුනා ගෙන ඊයේ රාත්‍රීයේ සිට මේ වන විට 125 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් යුද හමුදාවේ නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. “යනුවෙන් පැවසීය.