රුසියාවේ සොයුස් අභ්‍යවකාශ යානය සිය මිනිසුන් සහිත මීළඟ මෙහෙයුමේදී පෙර වාර්තා කළ කාලයට වඩා අඩු කාලයකින් ජාත්‍යන්තර අභ්‍යවකාශය වෙත යාමට සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා පවසයි. සොයුස් යානයේ මෙම මෙහෙයුම ලබන බදාදා දිනයේදී සිදු කිරීමට සැලසුම් කෙරී ඇත. කසකස්තානයේ පිහිටි බයිකොනොයූර් අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ පරිශ්‍රයේ සිට එම යානය කක්ෂගත වීමට සුදානමින් සිටියි.  මෙහිදී සොයුස්-2.1a රොකට්ටුව මගින් ගගනගාමීන් තිදෙනෙකු රැගත් සොයුස් MS-17 අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව යන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොමොස් පවසා සිටියි. රුසියානු ගගනගාමීන් දෙදෙනකු සහ එක් ඇමෙරිකානු නාසා ගගනගාමියෙකු ඒ අතර වෙති.


ඊයේ දිනයේදී එම රොකට්ටුව එම පරිශ්‍රය වෙත රැන්ගෙන ඒම  සිදු විය.  මෙලෙස ගුවන්ගත කෙරෙන යානය පෘථිවිය වටා දෙවතාවක් කක්ෂගත වී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධවීමට නියමිතව තිබේ. මෙම කටයුතු වඩාත් වේගයෙන් සිදුවෙනු ඇති බවත්, ඒ සඳහා උපරීමව පැය 3ක පමණ කාලයක් පමණක් ගතවෙනු ඇති බවත් රොකොමොස් සඳහන් කරයි. මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදු කෙරුණු මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා මෙහෙයුම් සඳහා කිරීමේ සිට ඒ වෙත සම්බන්ධ වීම සඳහා පැය 6කට ආසන්න කාලයක් ගත වී තිබේ. එහෙත් 2018 වසරේ සිය සොයුස් යානා මගින් සිදු කළ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් වඩා වේගයෙන් සිදු කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අතරින් MS-09 යානය පැය 3කුත් විනාඩි 40ක් ඇතුළතදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා  සම්බන්ධ වී තිබුණි.