පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කරනු  ලැබුවේ ත්‍රස්තවාදය මැඩලීමට වුවත් 2017 විශේෂ ගැසට් පත්‍රයක් මගින් සංවිධානාත්මක අපරාධ මැඩලීම හා මන්දුව වැටලීම් අපේ කාර්ය භාරයක් බවට පත් කළා. පසුව වැලි ප්‍රවාහනය හා පස් කැපීම ගැනත් අපිට හොයාගන්න සිදුවුණා. ත්‍රස්තවාදය ගැන හෙව්වේ රාජ්‍ය බුද්ධි අංශයෙන්. විශේෂ ඉල්ලීමක් හෝ දැනුම්දීමක් කළවිට පමණක්  යැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු  අණදෙන නිලධාර් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා 10 දාපැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්සු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ඉස්ලාම් අන්තවාදය ගැන සෙවීමට රාජ්‍ය බුද්ධි සේවය තමන්ගෙන් සහාය ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කළ
නමුත් එවැන්නක් සිදුනොවූ බවද  ඔහු පැවසීය.

පොලිස් විශේෂ කාරිය බළකාය සතුව හමුදා බුද්ධි අංශයටත් වඩා බලවත් බුද්ධි අංශයක් පැවති බවද ඔවුන් සමඟ නැගෙනහිර සාමාන්‍ය මුස්ලිම් ජනතාව විශාල වශයෙන් සම්බන්ධවී සිටි අතර  ඔහුගෙන් දැඩි සහයෝගයක් ලැබුණ බවද ඔහු  කීය.  සැකකටයුතු අයකු සීනි ටිකක් වැඩියෙන් මිලදී ගත්තද තම බුද්ධි අංශයට දැනුම් දීමට ඔවුන්  පුරුදුව සිටි බවද ලතීෆ් මහතා පැවසීය. එසේ ශක්තිමත් බුද්ධි අංශයක් පැවතියදී සහරාන් හෂීම් ගැන සෙවීමට ඔවුන් කටයුතු නොකළේ මන්දැයි කොමිසම විමසා සිටියේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ තමන් අණදුන් එම ආයතනය ස්ථාපිත කරනු ලැබුවේම ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට වුවත් 2017 අගෝස්තු 11 නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයකින් තමන්ගේ වගකීම වෙනස් කළ බවය. ඉන්පසු ප්‍රමුබතාවය ලබාදුන්නේ ගැසට් පත්‍රයෙන් පවරන ලද වගකීම්වලට බව ඔහු කීවේය.

නැගෙනහිර පළාතේ පැවැති පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් තිස් එදෙනකු 2018 න් පසු වෙනත් රාජකාරි සඳහා යොමු කළ බවද කොමිසම කළ විමසීමකදී පිළිතුරු දෙමින් ඔහු පැවසීය. එයින් විසිදෙනකු  සේවා අවශ්‍යතා මතද තව දෙදෙනකු අයහපත් වාර්තා මතද තවත් හතර දෙනෙකු අභියාචනා මත ද ස්ථාන මාරුවීම් ලද අතර තවත් පස් දෙනකු විනය කඩ කිරිම නිසා සේවයෙන් ඉවත් කළ බවද ලතීෆ් මහතා කීය.


-මුදිතා දයානන්ද-