පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ පොලිසියේ වරදින් නොවන බවද,  ඒ පිටුපස කාරණා රැසක් තිබෙන බවද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා (17) පැවසීය. එම කාරණා පසුව හෙළිකරන බවද ඔහු කීවේය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.  සිය නිලධාරින් උපරිම කැපවීමෙන්, දුෂ්කරතා මැද වැඩ කළ බවද එයින් ජයග්‍රහණ රැසක් ලැබූ බවද ඔහු පැවසීය. එහෙත් උදව් කරපු, ඔත්තු ලබාදුන් අය හිටි හැටියේම අනෙක් පැත්ත ගැහීම, විමර්ශන අනෙක් පැත්ත ගැහිම මෙන්ම මුදල්, විදේශීය මුදල්, දේශපාලනය කියන කාරණය ගැනද කල්පනා කළ යුතු බව ඔහු කීය.

බොළඳ චෝදනා මත තමන් ආරක්ෂක කවුන්සිලයට කැඳවීම නැවැත්වීම, විමර්ශන කළ නිලධාරින්ට අභූත චෝදනා එල්ලවීම, ඒ නිසා ඔවුන් තුළ ඇති වූ කඩාවැටීම පිළිබඳව ද කල්පනා කළ යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

වෙනත් කිසි තැනකදී නොකී තවත් බොහෝ  දේ තමන්ට කියන්නට ඇති බවද කොමිසමෙන් අවසර ලැබේනම් ඒවා තමන් සාක්ෂි දෙන අවසන් දවසේදී හෙළි කරන බවද ඔහු පැවසීය. විදෙස් බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරක් නිශ්චිත කරගැනීමට මෙරට බුද්ධි අංශ අන්තිම තොරතුර එනතුරුත් සමත් නොවූ බවද කිසිදු බුද්ධි තොරතුරක් විලේෂණාත්මකව ලබා  නොදුන් බවද හෙතෙම කීවේය. 

එසේ තිබියදී අත්තිම මොහොතේ රාජ්‍ය බුද්ධි අංශයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලැබීම, එහි කලින් ලැබුණ තොරතුරු සම්බන්ධකර විශ්ලේෂණය කර තිබිමත් සුවිශේෂ කාරණාවක් සේ තමන් දුටු බවද ඔහු පැවසීය.  කිසිවකු නොදැන සිටියද මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඒ වන විටත් ස්ථානගතවී අවසන් බවද ඔහු සඳහන් කළේය. 

“පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවන විට සහරාන් ගැනත්, කාන්තන්කුඩි පාලමුනෙයි යතුරුපැදි පිපිරීම ගැනත් රාජ්‍ය බුද්ධි අංශයත් පොලිස් විශේෂ කාර්යංශයත් විසින් එවන ලද වාර්තා තුනක් මා ළග තිබුණා. ප්‍රහාරය දැනගත් පසු  කොච්චිකඩේ පල්ලියට ගිහින් ඇවිත් මම ඒ වාර්තා ගැන සොයා බලා මැයි 5ට පෙර වාර්තා කරන ලෙස සටහන යොදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට යොමු කළා" යයි ද ඔහු පැවසීය.  “ප්‍රහාරයට පෙර දින දෙකක් මම අසනීපයෙන් නිල නිවසේයි හිටියේ" යයි ද ඔහු කීවේය.


-මුදිතා දයානන්ද-