රත්මලානේ සිට මඩකලපුව දක්වා බ්‍රැන්ඩික්ස් නියෝජිතයන්ගේ ගුවන් ගමන් එම ආයතනය මගින් නතර කර ඇතැයි රත්මලාන ගුවන්තොටුපළේ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා ඊයේ (18) පැවැසිය. රත්මලානේ සිට මඩකලපුව දත්වා බ්‍රැන්ඩික්ස් නියෝජිතයන් ගමන් ගත් ගුවන් ගමන් වාර සහ අභ්‍යන්තර ගුවන් කටයුතු තවමත් ක්‍රියාත්මකව පවතින්නේ ද යන්න අප කළ විමසීමේදී ඊට පිළිතුරු  දෙමින් අරුණ රාජපක්ෂ මහතා එසේ පැවැසීය. බ්‍රැන්ඩින්ස් ආයතනයේ නිලධාරීන් ව්‍යාපාර කටයුතුවල ගමන් පහසුව සලකා  රත්මලානෙන් ආසන 12කින් යුතු ගුවන් යානයක් වන Cessna Caravan 208 අභ්‍යන්තර සැහැල්ලු මගී ගුවන් යානයෙන් රත්මලාන සිට මඩකලපුව දක්වා ගමන් ගත් බව සඳහන් කරන රාජපක්ෂ මහතා රට පුරා ඇති වූ වසංගත තත්වයන් හේතු කොටගෙන එය ඔවුන් විසින්ම නැවැත්වූ බව පැවැසිය.

සතියේ සෑම සිකුරාදා සහ සඳුදා දිනකම

එම නියෝජිතයන් රත්මලානෙන් මඩකලපුව දක්වා ගමන් ගන්නා බව සඳහන් කළ ඒ මහතා අවසාන වශයෙන් ඔවුන් ඔක්තෝබර් පස්වැනි දින සිය ගුවන් පහසුකම් ලබාගත් බව පැවැසීය. මේ වනවිට රත්මලානෙන් පුහුණු ගුවන් කටයුතු සිදු කෙරෙන බව සඳහන් කළ රාජපක්ෂ මහතා අභ්‍යන්තර වෙළඳ ගුවන් ගමන් කටයුතු විශාල වශයෙන් අඩු වී ඇති බව පැවැසීය. 

කෙසේ වුව ද වෙළෙඳ කටයුතු සඳහා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය වන්නේ නම් අදාළ සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව එකී පහසුකම් සැපැයීමට රත්මලාන ගුවන්තොටුපොළ සේවාවන් සඳහා හැකියාව ඇති බව ද රාජපක්ෂ මහතා  වැඩිදුරටත් පැවැසීය.  විටින් විට ගුවන්තොටුපොළ පරිශ්‍රය ජීවානුහරණ වැඩසටහන් සිදු කරන බව සඳහන් කළ ඒ මහතා සෞඛ්‍ය නීතියට රිතිවලට අනුව කටයුතු සම්පාදනය කර ඇති බව ද පැවැසීය.

-තරංගනී ෆොන්සේකා-