මේ දිනවල සියලු විහාරස්ථාන වල සිදු කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ එකී ආගමික කටයුත්ත පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති නමුත් වසරකට වරක් සිදුකෙරෙන මෙම මහඟු පින්කමට දායක වීමට බෞද්ධ ජනතාවට ඉඩ සලසාදීම සඳහා එම පින්කම් කටයුත්ත නැවැත්වීමට අවශ්‍ය නොවන බවයි.


මේ අතර වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අනිද්දා (30) දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථානවල ද පවත්වන පිංකම් සඳහා 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් පමණක් සහභාගී කරවා ගන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා  පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල විහාරස්ථානයන්හි වෙනදා මෙන් ආගමික කටයුතු කිරීමට නොහැකි බවත්, ඇඳිරිනීතිය නොමැති බව සිතා වෙනත් පළාත්වල විහාරස්ථානයන්හි විශාල වශයෙන් පිරිස් සහභාගී කරවාගෙන ආගමික කටයුතු සිදුකළහොත් එය කොවිඞ් වයිරසය පැතිරයාමට හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එබැවින් 50 දෙනෙකුට අඩු ඉතා සුළු සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව ආගමික කටයුතු කිරීම රෝගය පැතිරීම වළක්වා ගැනීමට වැදගත් බව ද වෛද්‍යවරයා කීවේය.

විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ කොවිඞ් වයිරසයෙන් දැඩි ජීවිත අවදානමක් මතුවන අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයින් හා දියවැඩියා, හෘද, අධික රුධිර පීඩනය වකුගඩු රෝග ඇති අය නිසි පරිදි ඖෂධ ලබාගැනීමත්, නිවසේම රැඳී සිටීමත් අතිශය වැදගත් බව ද පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.