සෑම මගී ප්‍රවාහන බස් රථයකම අංකය එම රථයේ ඇතුළත ස්ථාන කිහිපයකම මගීන්ට හොඳින් පෙනෙන සේ ප්‍රදර්ශනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික ගමනාගමන මණ්ඩලයෙන් සහ  පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ ආශ්‍රිතව සිදු වූ සිදුවීමෙන්
පසු ඇතැම් අය පොදු ප්‍රවාහන සේවාවල ගමන් කර ඇති බවත්, ඔවුන්ගෙන් කරන ලද විමසීම්වල දී ඔවුන් ගමන් ගත් බස් රථවල අංක අමතකව ඇති බැවින් විමර්ශනවලට බාධා පැමිණ ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.  මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සිදුකරන බස් රථවල අංක මගීන්ට පෙනෙන සේ ස්ටිකරයක් මගින් හෝ දැන්වීමක් මගින් බස් රථයේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරිමෙන් යම්තාක් දුරට ඉදිරියේ දී හෝ ඊට පිළියමක් ලැබෙනු ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ  කළේය. 

එම බස් රථවලට ගොඩවන මගීන් ද අදාළ බස් රථයේ අංකය මතක තබා ගැනීමට හෝ එය සටහන් කර තැබීමට කටයුතු කරන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.‍යම් අවශ්‍යතාවක් ඇතිවුවහොත් අදාළ බස් රථ අංකය  ප්‍රකාශයට පත් කර එහි ගමන් ගත් අයට නිරෝධායනයට ලක්වන ලෙසට සඳහන් කළහොත් එහි ගමන්ගත් සියල්ලන්ටම නිරෝධායන නීතියට අනුගත විය හැකි බැවින්  මෙම ක්‍රියාමාර්ගය ගත් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතිවරයා මහතා මේ බව සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ දී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදීය.

-නිමන්ති රණසිංහ-