නිරෝධායනය කෙරෙන නිවාසවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අලවන දැන්වීමට අමතර පොලිසිය විසින්ද තවත් "විශේෂ දැන්වීමක්" ඇලවීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (27) පැවැසීය.
නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ 37 වගන්තිය ප්‍රකාරව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ බලතල පැවැරීමට අනුව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබ ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ, යුද හමුදා නිලධාරිවරයකුගේ මෙන්ම අදාළ පොලිස් වසම් ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංක එම දැන්වීමේ සටහන් කර ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී එම අංකවලට ඇමතිය හැකි බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
මෙම “විශේෂ දැන්වීම්" සහිත ස්ථානයෙන් පිටවීම සහ එම ස්ථානයට වෙනත් පිටස්තර පුද්ගලයකුට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, එම පිටවීමට හෝ ඇතුළුවීමකට ආධාර අනුබල දෙන යම් අයකු වේ නම් ඔවුන් සියලු දෙනාටම නිරෝධායන නීතිය ප්‍රකාරව නීතිමය කටයුතු කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
එසේම, එම විශේෂ දැන්වීම සහිත නිවසක නිසි පරිදි නිරෝධායන කටයුතු සිදු නොකළහොත් එම දේපොළ මුද්‍රා තබා පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවත් ඔනෑම හදිසි අවස්ථාවකදී අදාළ නිවේදනයේ සඳහන් අංකවලට කතා කර සහනයක් ඉල්ලා සිටිය හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම කරුණු පිළිබඳව සදහන් කළේ පොලිස් මූලස්ථානයේ දී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදීය.
- නිමන්ති රණසිංහ-
