මොරටුව ලුනාව දිස්ත්‍රික් රෝහල කොරෝනා ආසාදිත කාන්තා රෝගීන්ගෙන් ඊයේ (18) වනවිට පිරී ගොස් ඇතැයි ලුනාව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ජයලත් ජයතිලක මහතා පැවැසීය. මෙම රෝහල සතුව ඇති ඇඳන් 80 මෙම  කොරෝනා රෝගීන් වෙනුවෙන් දී ඇති අතර ඊයේ (18) දහවල් වනවිට රෝගීන් කාන්තාවන් 75 දෙනකුගෙන් පිරී තිබූ බව  වෛද්‍ය ජයතිලක මහතා කීය.  මීට අමතරව ඉතිරි ඇඳන් පහ සඳහා ද කොරෝනා ආසාදිත කාන්තාවන් පස්දෙනකු පොලොන්නරුව සිට ඊයේ (18) සවස වනවිට රැගෙන ඒමට නියමිතව සිටි බවත්  ඔවුන් පැමිණි පසුව රෝහලේ සියලුම ඇඳන් පිරෙන බවත් වෛද්‍ය ජයතිලක මහතා පැවැසීය.

ලුනාව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනුයේ කටුනායක, සීදුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ යන ප්‍රදේශයන්ගෙන් වාර්තා වූ රෝගීන් බව සඳහන් කළ හෙතෙම එහි රෝගීන් සියලුම දෙනා කාන්තාවන් බව ද පැවැසීය.  ජාතික කොරෝනා පාලන මධ්‍යස්ථානයෙන් මාරු කර එවන මෙම රෝගීන් රෝහලට රැගෙන ඒමට පෙර ලුනාව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පානදුර මූලික රෝහලටත්, පිළියන්දල මූලික

රෝහලටත් මාරු කර යැවීමට කටයුතු කළ බව හෙතෙම සඳහන්  කළේය. රෝහලේ වෛද්‍ය පහසුකම් මෙන්ම වෙනත් සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය පරිදි සපයා ඇති බව ද ඔහු පැවැසීය.

ශ්වසන ආබාධවලට දැඩි ලෙස ගොදුරු වී අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය සලකා බැලීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවීමට කටයුතු කරන බව ද ලුනාව දිස්ත්‍රික් රෝහලේ පැවැති සියලු සායන තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති බව ද ඔහු කීය.  රෝහලේ හදිසි අනතුරු අංශය වෙනම ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇති බව සඳහන් කළ ඔහු හදිසි අනතුරු අංශය ක්‍රියාත්මක බවත් මෙතෙක් ක්‍රියාත්මකව පැවැති ඕ.පී.ඩී. අංශය මොරටුව ලුනාව ආයුර්වේද රෝහලට අනුයුක්ත කිරීමට ද කටයුතු කරන බවත් පැවැසීය.

රෝහල්ගතව සිටින කොවිඩ්  රෝගීන්ගෙන් ලුනාව ගම් ප්‍රදේශයේ කිසිදු රෝගියකුට රෝගය ආසාදනය නොවන ලෙස කටයුතු කිරීමට සියලු සෞඛ්‍යයට රක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු කීවේය.  මේ වනවිට පැය අටෙන් අටට ක්‍රියාත්මකව පවතින ලෙස වෛද්‍ය හෙද  හෙදි කණ්ඩායම් තුනක් රෝහලේ කොවිඩ්  ආසාදිත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව  සඳහන් කළ හෙතෙම වාට්ටුවලින් රෝගීන් පැන යාම වළකාලීම සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව ද යොදවා ඇති බව පැවැසීය.


-රේඛා තරංගනී ෆොන්සේකා-