මේ වනවිට මතුගම අධිවේගී බස් රථයේ ගමන්කළ හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග පස්දුන් කෝරළයේම අවදානම් තත්ත්වයකට පත්ව ඇත. මෙම තත්ත්වයත් සමග ඊයේ (18) මතුගම සති පොළ පැවැත්වීම මතුගම  ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරීල්  මුණසිංහ මහතා විසින් සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත නතර කරන ලදී. මතුගම සිට ධාවනය වන සුඛෝපභෝගී පෞද්ගලික  බස් රථ තාවකාලිකව ධාවනය නොකිරීමටත් බස් රථ සංගමය තීරණය කර ඇත.

බස් මගීන්ගේ සහ සේවක කණ්ඩායම්වල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව මතුගම සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ප්‍රසන්න දීපාල් මහතා පැවැසීය. මෙම තත්වයත් සමග මතුගම නගරයේ 

ගැවැසෙන ජනතාව විශාල ලෙස අඩු වී ඇති අතර  මතුගම පෞද්ගලික බස් රථ නැවැතුම්පොළේ සහ  ශ්‍රී ලංගම බස් රථ නැවැතුම්පොළේ ජනතාව හිස්වෙමින් තිබෙන අයුරු ඊයේ දවස පුරා දක්නට ලැබුණි.

මතුගම බදුගම සිරිකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක හිමිකරුවකු සහ එම බස් රථයේ කොන්දොස්තරවරයත්, එම බස් රථයේ රියැදුරු වත මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු හා කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත  හෙදියක් කොරෝනා ආසාදනය වී ඇති බව ප්‍රථමයෙන්ම හෙළිවිය. අධිවේගී මාර්ග බස් රථයේ හිමිකරුගේ බිරිය සහ පුතා, එම බස් රථයේ කොන්දොස්තරවරයාගේ පවුලේ අය, එම බස් රථයෙන් වන්දනා චාරිකාවක නිරත වූ දෙදෙනකු සහ අගලවත්ත බේරගම ප්‍රදේශයේ පදිංචි එම බස් රථයෙන් දින 3ක් කොළඹ රාජකාරියට ගිය පුද්ගලයෙක්ද ආසාදිත අතර සිටී.

තව ද අගලවත්ත ප්‍රදේශයේ පදිංචි මතුගම-කොළඹ සුඛෝපභෝගී බස් රථ කොන්දොස්තරවරයකුට ද අගලවත්ත ඕමත්ත පාරේ කැකුලන්දල ප්‍රදේශයේ පදිංචි සුඛෝපභෝගී බස් රථ රියැදුරකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව 17 වැනිදා දහවල් වාර්තා විය. මේ අතර 18 වැනිදා ලැබුණු වාර්තාවලින් 17 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.  එම පිරිස අතර මතුගම බලප්‍රදේශයේ ලියන්කන්දල, ඕවිටිගල සහ සිරිකඳුර ප්‍රදේශවල පුද්ගලයන් සිටින බව ද පැවසේ. මේ වනවිට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ නිවාස 150කට අධික ප්‍රමාණයක ද වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නිවාස 250කට අධික ප්‍රමාණයක ද අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ නිවාස 50කට අධික ප්‍රමාණයක ද සිටින නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.


-තුසිත කුමාර ද සිල්වා-