නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ඩෙන්මාර්කයේ පවත්වාගෙන යන මුගටි ගොවිපොළ රැසක සිටින මින්ක් නම් මුගටි විශේෂයට අයත් මුගටින් ලක්ෂ 10කට ආසන්න පිරිසක් මරා දැමීමට එරට බලධාරීන් උපදෙස් ලබාදී ඇතැයි පැවසෙයි.

සිදුකර ඇති පරික්ෂණවලට අනුව මෙම සතුන් නව කොරෝනා වෛරසය වෙත ඉක්මනින්ම ගොදුරු වීමේ අවදානමක් පැවතීමත්, ඒ හරහා ඔවුන් එම වෛරසයේ වාහකයන් බවට පත්වී තවදුරටත් එය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතීමත් යන කාරණා මෙම තීරණයට හේතු වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ හරහා මෙලෙස කොරෝනා වෛරස ව්‍යාප්තිය හා මින්ක් මුගටින් අතර ඇති සම්බන්ධතාව පිළිබඳව ප්‍රථම වරට එළිදරව් කර තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවෙන් අනතුරුව ඩෙන්මාර්කයේ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ අධිකාරිය

මඟින් රට පුරා පිහිටි මුගටි ගොවිපොළ වෙතින් සාම්පල එකතු කිරීමක් සිදුකර ඇත. ඒ අනුව ආසන්න වශයෙන් එවැනි ගොවිපොළ 34ක් පරීක්ෂාවට ලක් කෙරී තිබේ. ඒ අනුව නව කාරෝනා වෛරසය අදාළ ගොවිපොළ හරහා ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය විවිධ සීමා කිරීම් ඉදිරිපත් කර ඇත. 

එහෙත් ඔක්තෝබර් මාසය ආරම්භයත් සමඟ රට පුරා කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් සිදුකර ඇති පරීක්ෂා කිරීම්වලට අනුව උතුරුදිග පළාතේ පමණක් පිහිටි මුගටි ගොවිපොළ 60ක් තුළ වෛරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගෙන ඇත. එසේම තවත් එවැනි ගොවිපොළ 40ක් පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙම සතුන් මරා දැමීම සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ දැඩි චෝදනා එල්ල වී ඇත. එහෙත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව රජය පවසයි. එසේම මේ සඳහා වෙනත් විකල්පයක් නොමැති බවත් ඔවුන් සඳහන් කරයි. විවිධ ඇඳුම් ඇතුළු නිෂ්පාදනවලට අවශ්‍ය ලොම් ලබා ගැනීම සඳහා මෙලෙස ඩෙන්මාර්කය තුළ මින්ක් මුගටින් මහා පරිමාණව ඇති කරයි.

මේ අතර, මෙම මුගටි විශේෂය නව කොරෝනා වෛරසය වෙත වැඩි වශයෙන් ගොදුරු වීමේ අවස්ථාවක් පැවතීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්, අනෙකුත් සතුන් හා සැසඳීමේදී මෙම සතුන් තුළ නව කොරෝනාව සම්බන්ධයෙන් නැඹුරුතාවක් පැවතීම පිළිබඳව සැකහැර දැනගැනීමට උත්සාහ කරන බවත් විද්‍යාඥයන් පවසා සිටියි.