දකුණු ආසියානු කලාපයේ ආර්ථිකයන් කෙරෙහි COVID-19හි විනාශකාරී බලපෑම් අඛණ්ඩව දිගහැරෙමින්, අවිධිමත් සේවකයන්ට (කම්කරුවන්ට) අසමාන ලෙස හානි කරමින්, මිලියන ගණනක් දකුණු ආසියානුවන් අන්ත දරිද්‍රතාවට තල්ලු කෙරෙන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව වසරකට දෙවරක් සිදුකරන කලාපීය නවතම යාවත්කාලීන වාර්තාවට අනුව දකුණු ආසියාව මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අවපාතයක අද්දරට පැමිණ ඇත. 

මෙම නවතම වාර්තාව, දකුණු ආසියානු ආර්ථික කේන්ද්‍රයේ පරාජයක් හෝ බිඳවැටීමක්ද?” යනුවෙන් ගෙනහැර දැක්වෙයි. ඒ අනුව පසුගිය වසර පහ තුළ වාර්ෂිකව සියයට 6ක් පසුකරමින් වර්ධනය වූ දකුණු ආසියානු කලාපීය ආර්ථිකය, 2020 දී සියයට 7.7කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය කලාපය පුරා අපේක්ෂිත ආර්ථික පසුබෑමකට වඩා තියුණු පසුබෑමක් ලෙස පුරෝකථනය කර තිබේ. එහිදී කලාපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාවේ ආර්ථිකය 2020 මාර්තු මාසයෙන් ආරම්භ වූ මූල්‍ය වර්ෂයේදී සියයට 9.6කින් සහ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6.7කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කර ඇත. කෙසේ වෙතත් කලාපීය වර්ධනය2021 දී සියයට 4.5 දක්වා ඉහළ යනු ඇතැයිද එම වාර්තව අපේක්ෂා කර තිබේ.


ජගහන වර්ධනයේ සාධක කෙසේ වෙතත්, ඒක පුද්ගල ආදායම කලාපයෙහි 2019 ඇස්තමේන්තුවලට වඩා සියයට 6ක් පහළින් පවතිනු ඇති අතර, ඉන් පෙන්නුම් කරන්නේ අපේක්ෂිත ප්‍රතිඵලය වසංගතයෙන් සිදුවන කල්පවත්නා ආර්ථික හානිය සමනය නොකරන තත්ත්වයකි. එසේ පෙර ආර්ථික අවපාතවලදී, ආයෝජන පහත වැටීම සහ අපනයන පසුබෑම හේතු විය. නමුත් මෙම අවස්ථාවේදී තත්ත්වය වෙනස් වන්නේ, සාම්ප්‍රදායිකව දකුණු ආසියාවේ ඉල්ලුමේ කොඳු නාරටිය පෞද්ගලික පරිභෝජනය වන නිසාය. එබැවින් මෙම කලාපයේ ආර්ථික සුභසාධනය පිළිබඳ මූලික දර්ශකයක් වන පෞද්ගලික පරිභෝජනය සියයට 10කට වඩා මෙවර අඩුවනු ඇති අතර, දරිද්‍රතා අනුපාත තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරෙයි.

ප්‍රේෂණ අඩුවීම සමහර රටවල දුප්පතුන්ගේ ජීවනෝපාය අහිමිවීම වේගවත් කරනු ඇතැයිද අපේක්ෂා කර තිබේ. "COVID-19 කාලය තුළදකුණු ආසියානු ආර්ථිකයන් බිඳවැටීම අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා විශාලයි. කුඩා ව්‍යාපාර සහ අවිධිමත් සේවකයන්ට හදිසියේම රැකියා අහිමිවීම් හා වැටුප් නොලැබී යාම් වඩාත්ම නරක අතට හැරේවි" යනුවෙන් දකුණු ආසියානු කලාපයේ ලෝක බැංකු උපසභාපති හාර්ට්විග් ෂාෆර් පැවසීය. "එහිදී ක්ෂණික සහන මගින් වසංගතයේ බලපෑම අඩු වී නොමැති බව පැවසිය යුතුයි. ඒ නිසා රජයන් ඔවුන්ගේ අවිධිමත් අංශ කෙරෙහි වූ ගැඹුරු අවදානම් තත්ත්වය ප්‍රශස්ත ප්‍රතිපත්ති මඟින් විසඳාගත යුතු අතර, ඔවුන්ගේ හිඟ සම්පත් ඥානවන්තව ලබාදීමට කටයුතු කළ යුතුයි.” 

දකුණු ආසියාවේ සියලුම සේවකයන්ගෙන් (කම්කරුවන්) හතරෙන් තුනක්ම අවිධිමත් රැකියාවන් මත යැපෙන බව සඳහන්ය. විශේෂයෙන් ආගන්තුක සත්කාර (හෝටල්), සිල්ලර වෙළෙඳාම සහ ප්‍රවාහන යන, ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා අංශයන් මෙම වසංගතය මැඩලීමේ මිනුම් නිසා බලපෑමට ලක්ව තිබේ. එහිදී COVID-19 හි අනපේක්ෂිත විශාල කම්පනයන් සමඟ කටයුතු කිරීමට අවිධිමත් සේවකයන්ට සහ ආයතනවලට ඉඩක් නොමැති බව වාර්තාව අනතුරු අඟවයි. දුප්පතුන් ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් දැඩි ලෙස පීඩා විදින අතර, COVID-19 අර්බුදය ආදායම් ව්‍යාප්තියේ මැද සිටින බොහෝ අවිධිමත් සේවකයන්ගේ වැටුප් හා ඉපැයීවල තියුණු පහත වැටීමක් ඔවුන්ට අත්විඳීමට සලස්වා ඇති බවද පෙන්වා දෙයි. 

එයින්ද අවිධිමත් සේවකයන් සුළු පිරිසක් සමාජ රක්ෂණයෙන් ආවරණය වන අතර, ඉතිරිකිරීම හෝ මූල්‍ය ප්‍රවේශයක් ඇතිව ජීවත් වෙයි. මේ තත්ත්වය තුළ විශ්වීය සමාජ ආරක්ෂණය මෙන්ම, වැඩි ඵලදායීතාව, කුසලතා සංවර්ධනය සහ මානව ප්‍රාග්ධනය සඳහා සහාය වන ප්‍රතිපත්ති සැලසුම් කරන ලෙස වාර්තාව රජයන්ගෙන් ඉල්ලා සිටියි. එම ප්‍රයත්නයේදී, ජාත්‍යන්තර හා දේශීය මූල්‍යකරණය සුරක්ෂිත කිරීම හරහා ප්‍රකෘතිය වේගවත් කිරීම වෙනුවෙන් තීරණාත්මක වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම රජයන්ට උපකාරයක් වනු ඇති බවද කියයි. එසේම අවිධිමත් සේවකයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම, රටවල් ඩිජිටල් ප්‍රවේශය වැඩිදියුණු කරන්නේ නම් සහ මාර්ගගත වේදිකාවලින් ප්‍රයෝජන ගැනීමට සේවකයන්ට සහාය වන්නේ නම්, දකුණු ආසියාව වඩාත් තරඟකාරී වෙළෙදපොළවල් සමඟ වඩා හොඳින් ඒකාබද්ධ කිරීම සඳහා දිගුකාලීනව ඩිජිටල් තාක්ෂණයන්ට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකළ හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.

COVID-19 වසංගතයෙන් දකුණු ආසියාව වසර ගණනාවක් පුරා ප්‍රබල පරිවර්තනයකට ලකෙරෙනු ඇති. එහි ආර්ථිකයන්හි කල්පවත්නා කැළැල් ඇති කරාවී. එහෙත් ඔරොත්තුදීමේ ප්‍රකෘතිමත් වීමක් සඳහා රිදී රේඛාවක් පවතින බවද පැවසිය යුතුයි. මන්දයත් මේ වසංගතයට දකුණු ආසියාවේ ගෝලීය වටිනාකම් දාමයන්හි අනාගත සහභාගිත්වය වැඩිදියුණු කළ හැකි නවෝත්පාදනයන් ඇති කළ හැකි නිසයි. ඒ අනුව තාක්ෂණික  සේවා හා සංචාරක කර්මාන්තයේ සංසන්දනාත්මක වාසිය ගෝලීය ආර්ථිකය වඩාත් ඩිජිටල් වීමත් සමඟ ඉහළ ඉල්ලුමක් ඇති කරනු ඇති බව පැහැදිලියි” යනුවෙන් ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ හාන්ස් ටීමර් පැවසීය. 


සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා විශාලතම අරමුදල් සහ දැනුමේ ප්‍රභවයන් සපයන මූලාශ්‍රයක් වන ලෝක බැංකු සමූහය, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ වසංගත ප්‍රතිචාරය ශක්තිමත් කිරීමට පුළුල් හා වේගවත් පියවර ගැනීම සඳහා සහාය වෙමින් සිටියි. එහිදී මහජන සෞඛ්‍ය මැදිහත්වීම්වලට සහාය වෙමින්, අත්‍යවශ්‍ය සැපයුම් හා උපකරණ ගලා ඒම සහතික කිරීමට කටයුතු කරමින් සහ පෞද්ගලීක අංශයට අඛණ්ඩව ක්‍රියාත්මක වීමට හා රැකියා පවත්වා ගැනීමට උපකාර කරමින්ද කටයුතු කරයි. රටවල් 100කට වැඩි සංඛ්‍යාවක දුප්පතුන් හා අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීමට, මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමට, ව්‍යාපාර සඳහා ආධාර කිරීමට සහ ආර්ථික ප්‍රකෘතිය ආධාර කිරීමට සහ ආර්ථික ප්‍රකෘතිය ඉහළ නැංවීම සඳහා මාස 15ක් තුළ ලෝක බැකු සමූහය එ.ජ.ඩොලර් බිලියන 160ක් දක්වා මූලධාර යොදවනු ඇති බවද කියයි. මේ අතරට ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ එ.ජ.ඩො.බිලියන 50ක ප්‍රදාන සහ ඉහළ සහනදායී ණය ඇතුළත් වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ජනනී උඩබැද්දාව