ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියො මෙරටට පැමිණෙන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම ඒ නමින්හෝ වෙනත් නමකින් අත්සන් කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

එමෙන්ම ඇක්සා ගිවිසුමේ ඊළඟ පියවර වන සෝෆා ගිවිසුම වර්තමාන ආණ්ඩුව හරහා අත්සන් කිරීම සිදු කරන බව කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. 


ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාක්‍ෂ මහත්මයා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්මයා මිලේනියම් චැලේජ් කෝපරේෂන් (එම්. සී.සී) ගිවිසුම ඒ නමින් හෝ වෙනත් නමකින් අත්සන් නොකරන බවට ප්‍රකාශයක් කළ යුතු බවට සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා,

"මේ එම්.සී.සී. ගිවිසුම ගැන ලොකුවට කතා කළා. මයික් පොම්පියෝ ගැන උපවාස කළා. සමහර වෘත්තීය සමිති වැඩවර්ජන කළා. පොම්පියෝ එන්නේ, මේ එම්.සී.සී. ගිවිසුම නමින් හෝ නොනමින්  අත්සන් කරන්න විතරක්නෙවෙයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා 2007දී ඒ ගෙනාපු ඒ ඇක්සා ගිවිසුමේ ඊළඟ පියවර වුණ සෝෆා ගිවිසුම මේ ආණ්ඩුව ලවා අත්සන් කරන්න. දිවිත්ව පුරවැසිභාවය  ගැන යටිගිරියෙන් කෑ ගහලා මේ රටේ ජාතිකවාදී බලවේග කුලප්පු කරගත් පිරිස් පොම්පියෝ එනකොට අද හොයාගන්නවත් නෑ. ඒ අනුව අද එම්.සී.සී. විතරක් නොවෙයි මේ සෝෆා ගිවිසුම් හරහා යැංකි බලවේගවලට ඉන්දියන් සාගරයේ බලවත් තැනක් ඇති කර දීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරගෙන යනවා. මේක භයානක ක්‍රියාවලියක්. මොකද අද පැහැදිලි සීතල යුද්ධයක් දැනටමත් පවතිනවා. බල කඳවුරු දෙකක් ඇතිවෙලා තියෙනවා.

එක පැත්තකින් ඇමෙරිකාව, ජපානය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව.

අනිත් පැත්තෙන් රුසියාව, චීනය, පාකිස්තානය හා ඉරානය. මේ බල කඳවුරුවල ගැටුමට අපි අහු වුණොත් 1980 ජයවර්ධන පාලනයට වුණ දේ අපේ රටට සිදු වෙනවා. 

දැන් රාජපක්‍ෂවරු මේ ලෝක බලවතුන්ගේ ගැටුමට මැදි කරන්නයි යන්නේ. අපි කියනවා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පැහැදිලිව කියන්න එම්.සී.සී. අත්සන් කරන්නේ නෑ ඒ නමින් හෝ නොනමින් කියලා. ඒකෙන් අපි සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියලා. ඒ වගේම අපි කියනවා ඒක කිරීමේ වගකීමක් තියෙනවා ආණ්ඩුව බලයට පත්වීම සඳහා ක්‍රියා කළ බලවේගවලට. ඉතින් 20 සම්මත කළාට වැඩක් නෑ ඒ සමාජ බලවේගය අහිමි නම්” යනුවෙන් පවසා සිටියේය.

- දිනේෂ් සමරකෝන් -