විපක්ෂ නායක සජිත්ප්‍රේමදාස පසුගිය දින කිහිපය මුළුල්ලේම විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ බැහැදැකීමට පසුගිය 24 වැනිදා එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය. 

 ආගමික පුණර්ජීවනය උදෙසා සජිත්ගේ සංකල්පයක් ලෙස ආරම්භ කරන ලද “සසුනට අරුණ” ව්‍යාපෘතිය පිළිබඳව නාහිමිපාණන් වහන්සේව දැනුවත් කිරීමටද සජිත් කටයුතු කළ අතර එම වැඩසටහන හරහා සිදුවූ මෙහෙවර පිළිබඳව සිය ප්‍රසාදය නාහිමිපාණන් වහන්සේ විසින් පළකරනු ලැබීය. 

මේ අතර රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමිපාණන් වහන්සේ මෙහිදී විපක්ෂ නායකයාට අනුශාසනා කළ අතර රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සජිත්
නාහිමිපාණන් වහන්සේව දැනුවත් කරනු ලැබීය. කොරෝනා උවදුර හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව ඇති ජන ජීවිත නැංවීම පිළිබඳවද විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හටගෙන ඇති ව්‍යාකූලත්වයද ඒ මහතා නාහිමිපාණන් වහන්සේගේ අවධානයට යොමු කරනු ලැබීය.

 “විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් පිරිස පිළිබඳව දැඩි තීන්දු ගත්තා, ඔළුගෙඩි මාරුවෙන් කරන දේශපාලන ක්‍රියාදාමය මම අනුමත කරන්නේ නෑ” සජිත් කීවේය. “යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීමේ වැදගත්කම මම ආණ්ඩුවේ අවධානයට යොමු කළා.” සජිත් කී විට තමන්වහන්සේ එය දුටු බව කීහ. “විපක්ෂ නායකයා ලෙස ඔබතුමා ගෙන එන සියලු ජනතාවාදී කටයුතු උදෙසා පක්ෂ, පාට භේදයකින් තොරව ආශීර්වාද කරනවා. එහිදී පුද්ගල සාධක හෝ දේශපාලනය ඉවහල් වෙන්නේ නෑ” මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ පැවසූහ. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳවද සිහිපත් කළ උන්වහන්සේ එතුමාගේ අඩිපාරේ යමින් රට වෙනුවෙන් සේවය කරන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අනුශාසනා කළහ. 


 “නායක හාමුදුරුවනේ අපි කිසි විටෙකත් ඔළුගෙඩි මාරුවෙන් කරන දේශපාලනය පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඒක අපි අනුමත කරන්නෙත් නැහැ. ප්‍රායෝගික නූතනවාදී විපක්ෂයක් ලෙස අපි කටයුතු කරනවා මිසක ඔළුගෙඩි මාරු කිරීමේ දේශපාලනයක් අප ළඟ නැහැ. රටේ ජාතික ආරක්ෂාව ඒ වගේම රටේ ඉදිරි ගමන පිළිබඳව අපි වගකීම් සහගතව කටයුතු කරනවා. අනෙක් අතට මේ ඇවිත් තිබෙන කොරෝනා ව්‍යසනය වෙලාවේ අපි පක්ෂ, පාට භේදයකින් තොරව ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා” සජිත් කීවේය. 


ආණ්ඩුව ගෙන ආ විසිවැනි සංශෝධනයට පක්ෂ වූ සියලු දෙනාට එරෙහිව පක්ෂය ගත් තීන්දු හතරද සජිත් පැහැදිලි කළේය. “අපේ හාමුදුරුවනේ, පහුගියදා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙලා විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්න පිරිස ගැන විශේෂ තීන්දු හතරක් ගත්තා.
එකක් තමයි ආණ්ඩුව විසින් ගෙන ආව විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රිවරුන් පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපන්නට තීරණය කළා. ඒ එක්කම සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව සංශෝධනයට පක්ෂව සහයෝගය ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යනුකූලව විනය පියවර ගැනීමට තීන්දු කළා. 


ඒ විතරක් නෙවේ, පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුළ එම පිරිස් සමගි ජන බලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කථානායකවරයා දැනුවත් කිරීමටද තීන්දු කළා. ඒ වගේම අපි පක්ෂය හැටියට කොරෝනා උවදුර සමනය වූ සැණින් පක්ෂයේ දීපව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමටත් තීන්දු කළා.”