මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින නීතිඥ හිිජාස් හිස්බුල්ලා
යන අය සභාපතිත්වය දැරූ ‘සේව්ද පර්ල්ස්’ සංවිධානයෙන් පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන
ගිය මද්‍රාසා පාසලේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ ‘නවරසම්’ නමැති
අන්තවාදී කරුණු ඇතුළත් පොත පිළිබඳව වාර්තාවක් එවන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත
ලියනගේ මහතා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේය. අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා නොතීසිය නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අදාළ පොතෙන් එම
මද්‍රාසා  පාසලේ ඉගෙනුම ලැබූ ළමා ශිෂ්‍යයන්ගේ
මනසට බලපෑමක් වී ඇත්දැයි සොයා බලා
වාර්තාවක් සපයන ලෙසට ඉකුත් ජුනි 17 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ චිකිත්සකවරයාට
අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එම නියෝගයට අනුව ඒ පිළිබඳව වාර්තාවක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ (නව යොවුන්) මනෝ
චිකිත්සකවරයා ඒවා නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ
කළ අතර ඒ අනුව අදාළ නියෝගය ඉල්ලා සිටිනු ලැබීය.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ‘නවරසම්’ නමැති
කෘතිය අන්තවාදී කරුණු ඇතුළත් පොතක් වන බව හා අයි.එස්.අයි.එස්. සටන්කාමීන් සම්බන්ධ කරුණු ඇතුළත්
පොතක් වන බවය. අදාළ පොත පිළිබඳව වාර්තාව කඩිනමින් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව
උපදෙස් දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.


අමිල අබේරත්න