කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පනස් හැවිරිදි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවිමෙන් පසුව එම රෝහල වෛද්‍යවරුන් 13 දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 53  දෙනකු නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි එහි අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත මහතා පැවැසීය. මේ සිද්ධියෙන් පසුව රෝහලේ වාට්ටු දෙකකට හා දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුළත් කර ගැනීමද තාවකාලිකව අත්හිටුවා ඇත. හෘදරෝගී තත්වයක් හේතුවෙන් කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අංක 15 වාට්ටුවේ හා එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මෙම කාන්තාව පීසීආර්
පරික්ෂණයකට යොමු කර ඇති අතර ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි එහ්දී තහවුරු වීමෙන් පසුව ඇය අයිඩීඑච් රෝහලට  පෙරේදා (17) ඇතුළත් කරනු ලැබුවාය. 

ආසාදිත කාන්තාව කුලියාපිටිය ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.  හෘද රෝගී තත්වය හේතුවෙන් ඇය රෝහල්ගතවී ඇත්තේ ඉකුත් 12 වැනිදාය.  සැකකටයුතු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම නිසා ඇය පීසීආර් පරික්ෂණයකට මෙසේ යොමු කරනු ලැබුවාය. මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු  මෙසේ පැවැසීය. අවුරුදු පනහක් පමණ වයසැති කාන්තාවක් හෘද  රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ඉකුත් 12  වැනිදා රෝහලට පැමිණියා. ඇය රෝහලේ අංක 15 වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර දුන්නා. රෝග තත්වය උත්සන්නව නිසා ඇය දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කළා. මේ කාන්තාව ප්‍රදේශයේ මංගල  උත්සවයකට ගොස් තිබුණා. 

ඒ උත්සවයට ගිය කිහිපදෙනකුට කෝවිඩ් වැළදී තිබු බව පසුව ආරංචි වුණා. කාන්තාව පීසීආර් පරික්ෂණයකට යොමු කිරිමට පියවර ගත්තේ ඉන් පසුවයි.  ඒ පරික්ෂණයේදී ඇයට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු කර ගත්තා යැයි ඔහු කීවේය. රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිස කුලියාපිටිය ගුරු පුහුණු විද්‍යාලයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට හා අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබ සිටිති.

-චාමර විමලරත්න-