විදුලි සර වැදීමෙන් රාගම තුඩුුවේ ගෙදර පදිංචි 17 හැවිරිදි තරුණියක් ඉකුත්දා (12දා) මරණයට පත්ව තිබේ.
 ඇය සිය නැඟණිය සමඟ ඉකුත් (11දා) රූපවාහිනිය නැරැඹීම සඳහා ඥාතී නිවෙසකට ගොස් සිටියදී මෙසේ විදුලි සැර වැදීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉකුත් 12 වැනිදා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්වී ඇත.
මියගිය තරුණියගේ මව එම ප්‍රදේශයේ සුළු වෙළෙදාමක් කරගෙන ඔවුන්ගේ දෛනික ආදායම සපයාගෙන ඇති අතර ඇගේ පියා අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙක් බවත් හෙළිවේ. 

ඔවුන් පදිංචි නිවෙස ආසන්නයේම මීටර් 200ක් පමණ දුරකින් ඇගේ පියාගේ සහෝදරියක් පදිංචි වී සිටින අතර මියගිය දිල්කි හංසනී නම් 17 හැවිරිදි තරුණිය ඇගේ දස හැවිරිදි නැඟණියත් සමඟ ඇගේ ලොකු අම්මා (පියාගේ සහෝදරිය) පදිංචි නිවෙසට ගොස් ඇත්තේ රූපවාහිනිය නැරැඹීමේ අදහසිනි. දෙදෙනා එක්ව රූපවාහිනිය නරඹමින් සිටියදී මියගිය අයගේ අතේ තිබූ රුපියල් 5 කාසියක් බිමට වැටී ඒ අසල තිබූ ශීතකරණය යටට ගොස් ඇති අතර කාසිය ගැනීමේ අරමුණින් ඇය බිම දිගා වී ශීතකරණය යටට අත දමා එම කාසිය පිටතට ගැනීමට උත්සාහ දරා ඇත. එහිදී ඇයට විදුලිසර වැදී ඇති අතර ඒ දුටු නැඟණියගේ කෑගැසීම කන වැකී ඔවුන්ගේ ලොකු අම්මා එම ස්ථානයට පැමිණ ඇත. 

බිම දිගා වී ශීතකරණය යට අත දමාගෙන සිටි දිල්කිගේ අත ඉන් පිටතට ගැනීමට උත්සාහ දැරීමේදී ඇගේ ලොකු අම්මාටද විදුලි සැර වැදී ඇති අතර ඇගේ කෑගැසීමට එම ස්ථානයට පැමිණි දිල්කිගේ මවගේද සහාය ඇතිව අවසානයේ දිල්කි ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම රෝහලේ සහකාර වෛද්‍ය නිලධාරි බේරුක්ගම මහතාගේ නිර්දේශය වී ඇත්තේ මෙම මරණය පපුවට හා හිසට විදුලි සර වැදීමෙන් සිදුවූ මරණයක් බවයි. 

 කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඩයස් මහතාගේ උපදෙස් මත රාගම පොලිස් ස්ථානාධිපති ඩයස් මහතාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එන්. රත්නායක පරීක්ෂණ මෙහෙයවිය. 

 කීර්ති මෙන්ඩිස්