කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළඳසලකට සහ සමූපකාර වෙළෙඳසලකට ඊයේ (21) මුද්‍රා තැබු බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිතයකු ගමන් කළ බව කියන කොට්ටාව නගර මධ්‍යයේ මාළු වෙළඳසලේ සේවකයන් සිවුදෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (21) වාර්තා වීමත් සමග මෙම තීරණය ගත් බව මහරගම සෞඛ්‍ය චෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ සේවය කරන දෙදෙනකු කොරෝනා ආසාදිතයන් බවට ඉකුත් 18 වැනිදා හඳුනා ගැනීමත් සමඟ ඉන් එක් ආසාදිතයකු ගමන් කළ බව පැවැසෙන කොට්ටාව නගර මධ්‍යයේ සමුපකාර වෙළෙඳසලක් සහ මෙම මාළු වෙළෙඳසල වසා දැමීමට මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරින් පියවර ගෙන තිබිණි. 

මෙම මාළු වෙළෙඳසලෙහි සේවය කළ සේවකයන් දහහත්දෙනකු

ස්වයං නිරෝධායනයට ලක් කොට ඉකුත් 19 වැනිදා සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයේදී සේවකයන් සිවුදෙනකුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට 21 වැනිදා වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු කියති. ඒ අනුව ආසාදනයට ලක්වූ කොට්ටාව පරණ පාරේ තෙමහල් ගොඩනැගිල්ලක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු, පන්නිපිටිය දෙපානම පළමුවන පටුමගේ පදිංචිකරුවකු සහ බොරලැස්ගමුව නීලම්මහර ප්‍රදේශයේ පදිංචිකරුවකු ඇතුළු සිවුදෙනා කළුතර පිඹුර දිසා රෝහලට ඇතුළත් කර ඇත. 

මෙම සිවුදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලෙන් ද නැතහොත් වැල්ලවත්ත කොරෝනා ආසාදිතයාගෙන් ද යන්න පිළිබඳව මූලාශ්‍ර සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

කොට්ටාව තැපැල් කන්තෝරුව අසල පිහිටි මාළු වෙළෙඳසලින් ඉකුත් 18 වැනිදායින් පසුව මාළු ලබාගැනීමට පැමිණි කිසියම් අයකු වෙතොත් ඒ පිළිබඳව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හෝ කොට්ටාව පොලිසිය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

- ශාන්ත ප්‍රදීප් කුමාර -