ශ්‍රි ලංකාවේ දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහි කිරීමට ප්‍රවීණ සත්ත්ව පලකයෙකු වන පාලිත සමරකෝන් මහතා සමත්ව තිබේ. ඇමෙරිකාවේ සත්ව ගොවිපොළකින් අරාබි සම්භවයක් සහිත උසස් පෙළපතක අශ්වයෙකුගේ ශුක්‍රාණු මෙරටට රැගෙනවිත් කත්‍රිම සංසේචන ක්‍රමය මාර්ගයෙන් මෙහි සිටින නවසීලන්ත සම්භවයකින් යුත් උසස් වෙළඹක් ගැබ් ගන්වා එම පැටවා බිහි කළ බව සමරකෝන් මහතා පැවසීය. එම පැටවා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද ඔහු කීය.   හනුවර පල්ලෙකැලේ යුද හමුදා රයිෆල් බළකා කදවුර ආශ්‍රිතව පිහිටි අශ්වගාල කේන්ද්‍ර කරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ පර්යේෂණ ක්‍රියාවලියක
ප්‍රතිඵලයක් ලෙස මෙම නව අශ්ව විශේෂය බිහි කිරීමට හැකි වූ බවද ඔහු කීය.

මෙම අශ්ව විශේෂය අප රටට ගැළපෙන විශේෂිත වූ අශ්ව ප්‍රභේදයක ආරම්භක පුරුක ලෙස හැඳින්විය හැකි බව පවසන හෙතෙම අදාළ පැටවා මීට දින තුනකට පමණ පෙර උපත ලද බවත්, එම පැටවාට සමන්තා ලෙසින් නම් තැබූ බවත් කියා සිටියේය.  මෙම ක්‍රමය උපයෝගී කරගනිමින් මෙරටට අවශ්‍ය ඉතා  උසස් තත්වයේ ගවයන් හා එළුවන් වැනි සතුන්ට පහසුවෙන් බිහි කරගත හැකි බවද සමරකෝන් මහතා සඳහන් කරයි.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් මහතා හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙම කටයුතු සඳහා විශේෂ දායකත්වයක් ලබා දී තිබේ.


 -ෂේන් සෙනෙවිරත්න-