පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පරිශ්‍රයෙන් මාළු රැගෙන විත් ගම්පහ ප්‍රදේශයේ අලෙවි කළ වෙළදෙකුට කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇති බවත් එම වෙළෙන්දා ගණේමුල්ල පොලිසියෙහි සහ ගම්පහ අධිකරණයෙහි පැය කිහිපයක් ගත කළ බව අනාවරණය වී ඇති බවත් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා පැවැසීය.
කෝවිඩ් 19 ආසාදිතයකු බවට තහවුරු වී ඇති මෙම මාළු වෙළෙන්දා ගම්පහ, මිරිස්වත්ත අවට ප්‍රදේශයන්හි මාළු අලෙවි කරන්නකු වන අතර ඉකුත් 18 වෙනි දින පෑලියගොඩ සිට එමින් සිටිය දී යතුරු පැදියෙහි බලපත්‍රය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිස් බාරයට ගෙන ඇති බවත් පොලිස්ථානයෙහි පැය හතක පමණ කාලයක් ගතකොට ඇති බවත් ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමේ දී ප්‍රකාශ වූ බවත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර මොහුට නඩු පවරා, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉකුත් 20 වෙනි දින ඉදිරිපත් වන ලෙසට පොලීසිය කළ දැනුම් දීමට අනුව අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව දඩ නියම කිරීම මත අධිකරණය සිර මැදිරිය තුළ වේලාවක් ගත කළ බවත් එම මැදිරිය තුළ තවත් කිහිප දෙනෙකු සිටින බවත් මොහුගෙන් විමසීමේ දී ප්‍රකාශ කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

-ගම්පහ තිලකරත්න දිසානායක-