කොටුව පොලිස් ගොඩනැගිල්ලේ පිහිට බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ කොවිඩ් වෛරසය ආසාදිත පොලිස් පරික්ෂකවරයා උණ රෝගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දී අවස්ථා තුනක දී රුධිර පරීක්ෂණ සිදුකරගෙන ඇතත් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු නොවූයේ යැයිද එහෙත් පිටකොටුව ප‍්‍රදේශයේ දී ඉකුත් සඳුදා (19) අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී ඔහු කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග පවසයි. 

මෙම පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ද කොරෝනා ආසාදිතයකු බවට ඊයේ (21) තහවුරු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම පොලිස් පරීක්ෂකවරයා උණ රෝගය හේතුවෙන් ඉකුත් 6, 8, 10 දිනවල කොළඹ ජාතික රෝහලට පැමිණ රුධිර පරික්ෂණ සිදුකළ ද ඔහු කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන නොමැති බවත් වෛරස්

උණ රෝගය බවට සැකකර ඔහුට රෝහලින් ඖෂධ දී තිබූ බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම පොලිස් පරික්ෂකවරයා ඉකුත් සඳුදා (19) එළවළු මිල දී ගැනීමට පිටකොටුවට ගොස් තම රෝගී ලක්ෂණ පවසා පිටකොටුව ප්‍රදේශයේ දී අහඹු ලෙස පී.සී.ආර්. සිදුකර ගන්නා ස්ථානයකින් පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකර ලබාගත් වාර්තාව අනුව ඔහු ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇති බව ද පොලිස් ආරංචිමාර්ග කියයි.

මොහු අහඹු ලෙස පී.සී.ආර්. පරික්ෂණ සිදුකර ගැනීම හේතුවෙන් වෛරසය තවත් පිරිසක් වෙත ආසාදනය වීමට තිබූ ඉඩකඩ වැළකුණු බව ද පොලිසිය පවසයි. මෙම පොලිස් පරික්ෂකවරයා කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වීමෙන් පසුව බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ එම කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර කොටුව පොලිසිය ද මහජන කටයුතු වෙනුවෙන් තවකාලිකව වසා දමා තිබිණි.

පොලිස් පරික්ෂකවරයා හා බිරිඳ තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ කාර්යාලයේ රාජකාරී කළ පොලිසියේ 8 දෙනකු හබරාදුව ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමු කර ඇත.


- ඉන්දිකා රාමනායක -