රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිය ඇති නමුත් දැනට වෙනත් දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශවල සේවයට දිනපතා සහ සතිපතා යන එන සියලු සේවකයන්ට තමන් සේවය කරන දිස්ත්‍රික්කවල නැවතී සේවය කරන්නයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඉල්ලීමක් කළේය. 

එසේම වෙනත් දිස්ත්‍රික්කවලින් රත්නපුර දිස්ත්‍රික්කයට එසේ යන එන සියලුම සේවකයන්ට ද රත්නපුර දිස්ත්‍රික්කයේ නැවැතී සේවය කරන්නැයි ද සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඉල්ලා සිටියේය. 

පවතින කොවිඩ් වෛරසය පැතිර යාමේ තත්ත්වය වර්ධනය වන බවක් පෙන්වන්නේ නම් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පිටතට යාම සහ රත්නපුර දිස්ත්‍රික්කයට පැමිණීම ඉදිරියේ දී සීමා කරන්නට සිදුවෙතැයි ද සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනතුරු ඇඟවූවේය.

රත්නපුර දිස්ත්‍රික්කයට යාබද කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්වල කොවිඩ් වෛරසය ආසාදිතයන් හමුවීමේ ප්‍රවණතාව ඉහළ යාම රත්නපුර දිස්ත්‍රික්කයට තදින් බලපාන බව ද වෛද්‍ය කන්නන්ගර මහතා කීවේය.

හෙතෙම මෙසේද කීය “රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ජනතාව රැකියා සඳහා යනවා එනවා. රත්නපුර ඇළපාත ඉන්න වරායේ සේවය කරන කෙනකුට කොවිඩ් වෛරසය ආසාදිත බව තහවුරු වෙලා. එයා ඇළපාත ගෙදර ඇවිත් මළගෙදරකටත් සහභාගි වෙලා. මරණාධාර සමිතියේ වැඩවලට එක්වෙලා. මළගෙදර කෑම උයන්න පවා උදව් වෙලා. පාටිත් දාලා. ආපහු ගියාට පස්පසේ තමයි කොරෝනා ආසාදිත බව තහවුරු වෙලා තියෙන්නේ. පවුලේ අය ඇතුළු ආශ්‍රිතයින් 25ක් දැන් නිරෝධායනයට ලක්කරලා තියෙන්නේ."

“මෙවැනි අවදානමක් ඇති නිසා තමයි අපි මේ ඉල්ලීම කරන්නේ. නමුත් මහජනතාවගේ නිසි සහයෝගයක් නැති වුණොත් රත්නපුර දිස්ත්‍රික්කය කොවිඩ් වයිරසයෙන් ආරක්‍ෂා කරන්න අපිට සංචරණ සීමා පනවන්න වෙනවා. එහෙම නොකරන්න නම් පිට ප්‍රදේශවල රස්සාවලට යන එන අය ඒ ඒ ස්ථානවලත්, පිටස්තර ප්‍රදේශවලින් රත්නපුර දිස්ත්‍රික්කයට රස්සාවලට සහ වෙළහෙළඳාම් ආදී කටයුතුවලට යන එන අයට රත්නපුර දිස්ත්‍රික්කයේම නවතින්නත් කියන්න වෙනවා." යැයි ද කන්නන්ගර මහතා වැඩිදුරටත් පැවැසුවේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ගම්මාන කිහිපයකට මේ වනවිට සංචරණ සීමා පනවා ඇති අතර

එම දිස්ත්‍රික්කයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා සංකීර්ණයට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද දිනපතා සේවක පිරිස් ගමන් කරති. එමෙන්ම ආසාදිතයන් හමුවීමෙන් පසු සංචරණ සීමා පනවා ඇති කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආදී ප්‍රදේශවලින් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම සහ නිවිතිගල ආදී ප්‍රදේශවල රැකියාවලට මෙන්ම ව්‍යාපාර කටයුතුවලට පිරිස් පැමිණෙති. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බැවින් මෙම ඉල්ලීම කරන බව ද සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.

(අජිත්ලාල් ශාන්තඋදය)