විභාග ශාලාවල සෞඛ්‍යාරක්ෂිත කටයුතු සඳහා ප්‍රමාණවත් මුදලක් ලබාදෙන ලෙසට සිදුකළ ඉල්ලීමට අනුව ශාලාධිපතිවරයෙකුට රුපියල් 15,000 මුදලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (20දා) පෙරොන්දු වූ බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන සමස්ත කාලයට සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු සඳහා රුපියල් දහසක මුදලක් ලබාදීමට තීරණය කර තිබූ බවත්, එය ප්‍රමාණවත් නොවන නිසා අදාළ මුදල ඉහළ දමන ලෙසට ඉල්ලා සිටි බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මේ අනුව සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ සඳහා

විෂබීජනාශක, මුඛ ආවරණ හා අත්වැසුම් මිලදී ගැනීම සඳහා රුපියල් පහළොස්දහස බැගින් ශාලාධිපතිවරුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පොරොන්දු වූ බවද ඔහු පවසා සිටියේය.

අදාළ මුදල කඩිනමින් විභාග ශාලාධිපතිවරුන්ට ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බවත්, මීට අමතරව සෑම ශාලාධිපතිවරයෙකුම ගෙවීගිය දින කිහිපයේ විභාග ශාලාවල සෞඛ්‍යාරක්ෂිත කටයුතු සඳහා විශාල මුදලක් වැය කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. කොතරම් මුදලක් වැය කළද රජය පොරොන්දු වී තිබෙන්නේ රුපියල් දහසක මුදලක් ලබාදීමට නිසා අදාළ රුපියල් දහසක මුදලද කඩිනමින් විභාග ශාලාධිපතිවරුන්ට ලබාදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

රජයේ ඉල්ලීම පරිදි ශාලාධිපතිවරුන් විසින් සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය තම පෞද්ගලික මුදලින් මිලදී ගෙන තිබෙන බවත් ජෝසප් ස්ටාලීන් මහතා සඳහන් කළේය.

- ඉන්දික හේවාවිතාරණ -