කෝවිඩ්-19 වෛරසය ආසාදිත වූ බවට හඳුනාගෙන ඇති කඩුවෙල අවහල් සේවකයෙකු කඩුවෙල නගරය ඇතුළු ස්ථාන කිහිපයකම ගැවසීම හේතුවෙන් එම ස්ථාන හඳුනාගෙන තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව තලංගම පොලීසිය පවසයි.

ඒ අතර එම අවන්හල මෙන්ම, පෞද්ගලික රසායනාගාරයක් හා බෙහෙත් ශාලාවක්ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව තලංගම පොලීසිය සඳහන් කරයි.


හෝටල් සේවකයාට මීට දින තුනකට පෙර උණ රෝගී තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ඔහු ඒ සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා කඩුවෙල නගරයේ පෞද්ගලික රසායනාගාරයකට මෙන්ම වැලිවිට ප්‍රදේශයේ බෙහෙත් ශාලාවකට ගොස් තිබූ බවද අනාවරණය වී ඇත.

තාවකාලිකව වසා දැමුණු එම අවන්හල තුළ සේවකයන් කිහිප දෙනෙකුද, රසායනාගාරය තුළ සාත්තු සේවිකාවන් කිහිපදෙනෙකුද, බෙහෙත් ශාලාව තුළ සාත්තු සේවිකාවන් කිහිපදෙනෙකු හා රෝගී හෝටල් සේවකයා ගමන්ගත් බව කියන ත්‍රිරෝද රථ දෙකේ රියැදුරන් දෙදෙනකු සහ හෝටල් සේවකයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනා පහළ බෝමිරිය, රාක්ෂපාන සහ කොතලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 

- බිමල් ශ්‍යාමන් ජයසිංහ -