නම - සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් “මාකඳුරේ මධුෂ්" (විවාහක දෙදරු පියෙකි.) 

උපන්දිනය - 1979 පෙබරවාරි 24 

ලිපිනය - මාතපානවත්ත, ගතාර, කඹුරුපිටිය.

මවත් පියාත් එකම සහෝදරයාත් සමග මාතර කඹුරුපිටියේ ජීවත් වු මධුෂ්ට සිය මෑණියන් අහිමි වන්නේ යම්තම් වයස අවුරුදු අටක් පමණ වනවිටය. 1988-89 වර්ෂයේ එවකට දකුණු පළාත තුළ දැඩිව පැවැති තහනම්

දේශපාලන සංවිධානයක ප්‍රබලම සාමාජිකාවක ලෙසින් සිටි මධුෂ්ගේ මව රැස්වීමකට ගොස් පැමිණෙමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පන්වන්නේ සිය දරුවන් දෙදෙනාට මවු සෙනහස සදහටම අහිමි කරමිනි. මවගේ ආදරය සෙනෙහස දරුවන් දෙදෙනාට ලබාදිය නොහැකි තැන මදූෂ්ගේ පියා, ඔවුන් දෙදෙනා "ලොකු අම්මා"ට භාර කර වෙනත් විවාහයක් කරගෙන තිබිණි.
මවු නැති දරුවන් දෙදෙනාට කිරි අම්මා වු මදූෂ්ගේ ලොකු අම්මා තමාට හැකි පමණින් දරුවන් දෙදෙනා හදා වඩා ගත්තාය. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා යන්තම් ඉගෙන ගත් මධුෂ් ලොකු අම්මාගේ ජීවන අරගලයට සහාය වීම පිණිස පාරට බසින්නේ ලී වැඩක් කර කීයක් හෝ සොයා ගැනීමේ අරමුණෙනි. 

මධුෂ්ට මුලින්ම කුලී වැඩක් හමුවන්නේ ගමේ මඩුවෙනි. දිනෙන් දින කීයක් හෝ අතට ගත් ඔහු තමාටම කියා ව්‍යාපාරයක් ඇරැඹීමේ අදහසින් ලී ඉරන කුඩා මැෂිමක් මිලට ගන්නේ එය පටවාගෙන තැනින් තැනට යැමට අත් කරත්තයක් ද සමගය. ටික දිනකින් මධුෂ්ගේ මේ "ජංගම ලී ඉරන පට්ටලය” ගමේ කා අතරත් ප්‍රකට වී තිබිණ. සාමාන්‍ය ජනතාව අතර එය ප්‍රකට වුව ද ලී මෝල් හිමියන්ට නම්  මෙය යන්තමින් තර්ජනයක්ව තිබූ බැවින් මධුෂ්ට ඔවුන්ගෙන් තර්ජන ගර්ජනද ඇති   නොවුණා ම නොවේ. මේ කාලේදීම යන්තමින් නැගී එන් පුංචි ව්‍යාපාරිකයාගේ අත ගත්තේ මාතර මහ රෝහලේ සාත්තු සේවිකාවක වූ තරුණියකි. දෙදෙනාගේ වීවාහයන් මධුෂ්ට පිරිමි දරුවකු උපන්නේය.

ව්‍යාපාරයත් සමගම මධුෂ්ට යාළු මිත්‍ර සමාගම් බොහෝමයක් විය. ඔවුන් අතර යහපත් අයහපත් දෙපාර්ශවයෙන්ම  මිත්‍රයන් සිටියත් මධුෂ් වැඩියෙන්ම ඇසුරු කළේ බස් කප්පම් කල්ලියක සාමාජිකයින් පිරිසකි. මේ මිත්‍ර සමාගම් කෙළවර මධුෂ් ද බස් කප්පම් කල්ලියක ප්‍රබලයකු බවට පත් කළ අතර හොඳින් හෝ නරකින් එය සිදුකිරීම සඳහා අවි ආයුධ ද අත පත ගාන්නට ඔහු පටන් ගත්තේය. දැන් දැන් අතට මුදල් යහමින් ලැබී ඇති බැවින් යතුරුපැදි අලූත්වැඩියා කරන ස්ථානයක් ආරම්භ කිරිමට මධුෂ් අලුත්ම බලාපොරොත්තුවකින් සිටියේය. මේ සඳහා මධුෂ්ට සහාය දුන්නේ ”හිච්චි මහත්තයාය. මධුෂ් සහ හිච්චි මහත්තයා ඇල්ල ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගී වන්නේ මධුෂ් රැගෙන ගිය කුලී කාරයනි. මේ ගමන මධුෂ්ගේ ජීවිතය වෙනස් මගට යොමු කළ එකක් බවට පන්විණි.

"හිච්චි මහත්තයා, මට සර්විස් සෙන්ටර් එකක් පටන් ගන්න ඕන. ඒක මගේ හිතේ තියෙන ආසාවක්. ඒකට ඉඩමක් හොයා ගන්න ඕන. ඒකට උදව් කරන්න පුළුවන් ද?" ගමන අතරතුරදී මධුෂ්, හිච්චි මහත්තයාගෙන් ඇසුවේය.  "හරි පුතා, මගේ ඉඩම පල්ලේහා තියන කෑල්ල උඹට දෙන්නම්. උඹට නිසා රුපියල් තිස්පන්දහසකට දෙන්නම්. මොකද කියන්නේ?"

හිච්චි මහත්තයාගේ ලංසුවට උඩින් කැමැති වු මධුෂ් මංගල උත්සවයෙන් පසු ඉක්මනින්ම කරන්නේ එම ඉඩම තම නමට ලියා ගැනීමය. හිච්චි මහත්තයා විසින් මධුෂ් ලබාදුන් ඉඩම රජයේ ඉඩමක් බව ඒවනවිට මධුෂ් දැන නොසිටියේය. මේ රජයේ ඉඩමට ඇස ගසා ගෙන සිටි තවත් අයෙකි. ඔහු නමින් ජයවර්ධන ය. ජයවර්ධන වනාහි දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ මස්සිනා ය. හා හා පුරා කියා ඉඩමට පය තැබූ මධුෂ් එහි තිබු පස් කන්ද කපා ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් යොදාගත් අතර එහි රියැදුරුට ලබාදීමට අරක්කු බෝතලයක් මිලට ගැනීම සඳහා ටවුමට යන්නේ තමාගේ  ට්‍රැක්ටර් රථයෙනි. හන්දියේ බාර් එක අසල  ට්‍රැක්ටරය නැවැත්වූ මධූෂ් එහි ගොස් මත්පැන් බෝතලය මිලට ගෙන පාරට එද්දී අසලින් ගිය මෝටර් සයිකලයක් මධුෂ්ගේගේ කකුල යටකර දමන්නේය. මෝටර් සයිකලය පැදගෙන ආවේ ජයවර්ධන ය. කකුළේ වේදනාවට වඩා හිතට දැනුණු වේදනාවෙන් මධුෂ් ජයවර්ධන දෙස රවා බැලීය. “මොකද තෝ බලන්නේ? ඇයි මට ගහන්න ද? කාගෙන් අවසර අරගෙන ද බොල අර ඉඩම ගත්තේ? තෝ එකේ  මොකක්ද දාන්න හදන්නේ?  අපි ඉන්නකල් මේකේ තොට රජකරන්න දෙන්නේ නැහැ"

ජයවර්ධනගේ ගර්ජනා හඬ මධ්‍යයේ  මධුෂ් පසුබැස්සේ පසුව වාඩුව ගන්නා බවට සපත කරමිනි. ඒ 2004 වර්ෂයේ දිනකදී සිදුවූ සිදුවිමක් වන අතර ඒ වනවිට ජයවර්ධනලා ගමේ හයිකාරයෝ මෙලෙසින් හංවඩු ගැසී සිටියේය. පළිගැනීමේ චේතනාවෙන් කඹුරුපිටියෙන් කොළඹට පය තබන මධුෂ්ට රොටුඹ අමිල මුණගැසෙයි.  "මචං මට අරූ මරන්න ඕන. කෑල්ලක් දීපං"  රොටුඹ අමිලගෙන් පිස්තෝල අවියක් ඉල්ලා ගත් මධුෂ් කෙලින්ම එන්නේ  කඹුරුපිටියටය. ඒ ජයවර්ධනට වෙඩි තබන්නටය. දෙනෝ දහසක් ඉදිරීයේ ප්‍රසිද්ධියේම ජයවර්ධන මරා දැමූ මධුෂ්, ගාල්ලට පැමිණ උණාකුරුවේ ශාන්තගේ කණ්ඩායමට එකතු වන්නේ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරිමේ සිහිනය විනාශ කර දමමිනි. උණාකුරුවේ ශාත්ත යනු කතරගම -කොළඹ බස් රථ ධාවන රියැදුරක් වුව ද ඔහු කප්පම් කල්ලියක සාමාජිකයකුව සිටියේය. 

එවකට ජ්‍යෙෂ්ඨ පොළිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතාට උණකූරුවේ ශාන්ත කොටු වන්නේ ගිනි අවි 10ක් ද සමගය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මදුෂ් පිළිබඳව හෙළිදරව් වෙයි. මේ කියනා මධුෂ් පොලිසියට මුලින්ම කොටු වන්නේ එදාය. එනම් 2005 වර්ෂයේ ජුලි  මස 26 වැනිදාය. වාරියපොළ එළිය  ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක ගල්  තලාවක සුවසේ නිදියමින් සිටී මධුශ්ව ප්‍රියන්ත ජයකොඩි මහතා කුදලාගෙන එයි. ඔහුට එරෙහිව චෝදනා නගා තිබුණේ මීගමුව සහ ගාල්ල ප්‍රදේශයේ ලීසිං සමාගදී තුනක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

"සර් මම ඩැනී හිත්තැටිය මරන එක මරනවාමයි. මම රත්තරන් ජීවීතයක් පටන් ගන්න හැදුණා විතරයි. මේ කාලකණියෝ මට ඒක කරන්න දුන්නේ නැහැ. මම දන්නේ නැහැ. සර් උන් ඒ ඉඩමට ඇහැ ගහගෙන හිටියා කියලා. උගේ මස්සිනා මම මැරුවා වගේම ඌවත් මරනවාමයි” මධුෂ් ද පොලිසියට කීවේය.

ආයුධ සිද්ධිය සම්බන්ධයෙන් මධුෂ් රක්ෂිත බන්ධනාගාරගත වූ අතර එහිදී මාරක ළිඳේ බයිසිකල් පැදීමට ශුරයකු වන "උක්කු මල්ලි" සහ කමාන්ඩෝ නිශ්ශංක නැමැති වෙඩික්කරු  හඳුනා ගැනීමට ඔහුට හැකිවෙයි. “මචං මේ  වැඩේ වෙන්න ඕන. උඔලා එලියට ගිය ගමන් ඩැනියා ඉවරයක් කරන්න ඕන. ඒකට උඹලට වෙද මල්ලි උදව් කරයි." මාකඳුරේ මධුෂ් රක්ෂිත භාරයේ සිටියදීම උක්කු මල්ලිත් කමාන්ඩෝ නිශ්ශංකත් වෙද මල්ලිත් එකතුව ඩැනී හිත්තැටිය මහතා වෙඩි තබා ඝාතනය කරන්නේ මධුෂ්ගේ පළිගැනීම් පළමු බිල්ල ලෙසින්ය.  මධුෂ් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී හඳුනා ගන්නේ ලාලිත කෞශල්‍ය හෙවත් "කුඩු ලාලිත වය. කොල්ලාකෑම් කප්පම් ලබාගැනීම් කරමින් සිටි අයෙකි.

මධුෂ්ට හෙරොයින් විකිණීමේ අත්පොත් දෙන්නේ මේ කියන කුඩු ලාලිතය. හෙරොයින් සුළු ප්‍රමාණයෙන් අලෙවි කරමින් සිටී මධුෂ්ට තම හිතවතා වූ ලාලිත අහිමි වන්නේ 2015 වර්ෂයේ දිනයකදීය. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්  ත‍ලාහේන මාලබේ ප්‍රදේශයේදී කුඩු ලාලිත වෙඩි තබා මරා දැමීම නිසාය. තම හිතවතා මරා දැමීමත් ඒවනවිට බන්ධනාගාරයේ සිටි 'කළු තුෂාර" මරා දැමීමත් යන කාරණය 

හේතුවෙන් මධුෂ් පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රංගජීව නිලධාරියාට වෙඩි තබා කතනය කිරීමට කොන්ත්‍රාත්තුක් ලබාදෙන්නේ 2016 වර්ෂයේදීය.

මධුෂ් බන්ධනාගාරයෙන්  එලියට එන්නේ ඒවනවිට හිරගේ  ඇතුලේ මිතුරුව සිටි කංජිපානි ඉම්රාන්ගේ ආරාධනයෙන් මාලිගාවත්ත ප්‍රදේශයටය. මාලිගාවත්ත දි හෙරොයින් පාතාලයේ නමගිය ඇත්තන් හඳුනාගත් රිෆ්කාන්, මොහොමඩ් සිද්ධික් වැන්නවුන් හඳුනා ගැනීමට මධුෂ්ට හැකි වෙන්නේ කජිපානි ඉම්රාන්ගේ පිහිටෙනි. ටෑන්ඩර් එන්ජිම තුළ සඟවා මෙරටට හෙරොයින් ගෙන්වීම් මහා ජාවාරමක් වැටලීමට ආරක්ෂක අංශ සමත් වන්නේ ඉකුත් 2009 වර්ෂයේ දීය. ඒ   සඳහා කංජීපානි ඉම්රාන්ගේ නම ද ගැවී තිබේ. මෙම වැටලීමෙන් පසු කංජිපානි ඉම්රාන් සිය අනියම් බිරිය වූ දූසාරා සහ ඇගේ දරුවන් දෙදෙනාත් සමග ඩුබායි රාජ්‍යයට පැන යති.  "මචං මෙහේ ඉන්න බැහැ. මං යනවා. උඹට මොකක් හරිය  අවුලක් නම් වරෙන් මා ළඟට  හරිද?” , මධුෂ්ට එස‍ෙ කියන්නේ ඔවුන්ගේ දැඩි මිත්‍රත්වය හේතුවෙනි. 

පසුව කංජිපානි සිය මිත්‍ර මධුෂ් ද ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගන්නේ එහි  සිට ලංකාවේ හෙරොයින් ජාවාරම් හොඳ හැටි සිදුකළ හැකි නිසාය.  මධුෂ් මින් වසර පහකට පමණ ඉහතදී ඩුබායි රාජ්‍යයට පලා යන්නේ තම එකම පුත්‍රයාත් කළු තුෂාර නමැත්තාගේ බිරිඳත් සමගය. ඩුබායි රාජ්‍යයේ මහල් 60කින් යුත් නවීන පන්නයේ සුපිරී හෝලයක හිමිකරු ව සිටි මධුෂ් එහි මෙරට හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය. එපමණක් ද නොව තම  ව්‍යාපාරයට හරස් කපන්නන්ගේ ජීවිත විනාශ කර දැමීමටත් තම ගෝලබාලයන්ගේ සුබ විහරණය වෙනුවෙන් සටන් කිමටත් මොහු  එරට සිට ක්‍රියා කළේය. කැලණි මිටියාවතේ පාතාලයේම කෙරුමෙක් වූ 'රණාලේ සමයං' ඝාතනය කිරීම සඳහා අංගොඩ ලොක්කා සමග හරී හරියට  ක්‍රියාත්මක වන්නේ මාකඳුරේ මදුෂ්ය. මෙම ඝාතනයෙන් පසු "අංගොඩ ලොක්කා” සහ “ලඩියා” ඉන්දියාවට පලා යන්නෙත් මධුෂ්ගේ ආධාරයෙනි. ඒ සඳහා මධුෂ් උදව් උපකාර ගන්නේ කිඹුලාඇළ ගුණා ගෙනි.

මේ රටේ සිට ඕනෑම පාතාල වැඩක් කර 'මධුෂ් කිවොත්' ඉන්දියාවට ගෙන්වා ගැනීමට මේ කියනා කිඹුලාඇළ ගුණා සැදී පැහැදී සිටි බව වරක් මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබිණි.   රනාලේ සමයං ඝාතනයන් උරණ වූ ඔහුගේ අනුගාමිකයෝ අලුත්කඩේ ප්‍රදේශයේදී මධුෂ්ගේ හොඳම හිතවතා වූ රිස්බාන් වෙඩි තබා මරා දමන්නේ මධුෂ්ටත් අංගොඩ ලොක්කාවත් රිදවීමටය. රිස්බාන්ගේ වියෝව හේතුවෙන් මධුෂ් කරන්නේ කොස් මල්ලී මරා ඔහුගේ හිස අලුත්කඩේ ප්‍රදේශයට ගොස් දැමීමය. 

එපමණක් ද නොව අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාවාරමට උදව් උපකාර කළ මධුෂ්, වැලිගමදි සන්ෂයින් සුද්දාට ද වෙඩි තැබීමට දී ඔහේ බලා සිටීයේය .   මාලිගාවත්ත පාතාලයේ ලොක්කා වන කංජිපානිගේ මැර පාතාලය ද මධුෂ් ඩුබායි සිට මෙහයවනු ලැබුවේ කාංජීපානි සමග හෙරොයින් ජාවාරම යහතින් කරමිනි. 

කංජිපානිගේ බිරිය ඝාතනය කිරීමට පැමිණියේද වෙඩික්කරුවෝ ය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් සමඟද මධුෂ්ගේ තිබුණේ බොහෝම බැඳීමකි. අවි ආයුධ මෙන්ම එහි පුහුණුව ලත් අය සමග මිත්‍ර සමාගම් ඇති කරගෙන තිබුණු මධුෂ් ඔවුන්ගෙන් වැඩ ගත්තේය. වරක ප්‍රභූ ඝාතන නඩුවකට ද මධුෂ් හසු වෙයි. සියල්ල මැද කොල්ලාකෑම් මෙන්ම ඝාතන සිද්ධින් 50කට වැඩි සංඛ්‍යාවක් මධුෂ්ගේ ගිණුමට බැර වී ඇති බව පොලිසිය කියයි. 

එසේම, පන්නිපිටිය ප්‍රදේශයේදි ඉන්දික  නොහොත් කැවුමා" සමග එක්ව රුපියල් මිලියන 800ක නිල් මැණිකක් සම්බන්ධ සිද්ධියේදී අදාළ ව්‍යාපාරිකයා මාකඳුරේ මධුෂ්ට රුපියල් ලක්ෂ 400ක ගතමනාවක් ද ලබා දී තිබු බව ආරක්ෂක අංශ සඳහන් කරන්නකි. මේ සියලු සැප සම්පත් පිරි ඉතිරි ගියත් අද ඔහු සිටින්නේ කොතැන ද? අවි ගත්තෝ නසින්නේ අවියෙන්මය  යන මෙලොව දහම සනාත කරමින් ඔහු අද පොලිස් වෙඩි පහරින් ජීවිතයෙන් සමු දී ඇත්තේ පාතාලයේ බොහෝ අයියලාට අත්වන ඉරණමට අනුවය.


-නිමන්ති රණසිංහ-