කෝවිඩ් - 19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන ආධාර සහ ණය ලෙස ඩොලර් කෝටි 45කට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 82කට අධික මුදලක් ලැබි ඇති බව වාර්තා වේ. 

කෝවිඩ්-19 වෛරසය ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන මගින් විටින්විට ශ්‍රී ලංකාවට ආධාර (ප්‍රදානයන්) සහ ණය වශයෙන් ලෙස ඩොලර් හතළිස්හතර කෝටි හැත්තෑ ලක්‍ෂ තිස්අටදහස් අටසිය අසූහයක මුදලක් (447,038,886) ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ආසන්න වශයෙන් රුපියල් 82,255,155,132කි. 

මෙම මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත ලැබී ඇතැයිද තොරතුරු දැනගැනීමේ පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විමසීමේදී අනාවරණය විය.

එස්ම මෙහිදී ප්‍රදානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 1.9ක්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් ඩොලර් 212,260ක්,

යුනිසෙෆ් ආයතනය මගින් ඩොලර් 60,000 - 65,000ක්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 5,000,000ක මුදලක් සහ ගෝලීය අරමුදල මගින් ඩොලර් 1,194,424ක්ද ලැබි තිබේ.

එමන්ම ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් ඩොලර් 128,000,000ක මුදල් ප්‍රමාණයක්ද ලංකාවට ලැබී ඇත. 

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් 634918.59ක මුදලක් ලැබී ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවෙන්ද ඇමෙරිකානු ඩොලර් 300,000,000ක මුදලක් ලැබී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 150,000,000ක මුදලක් වෙන් වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, සමාජ ආරක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා ය. මෙම මුදල් ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වෙත ලැබී ඇති අතර, ඉතිරි මුදලද ඉදිරියේදී ලැබීමට නියමිතය. 

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පෙරේදා (17දා) දිනය වනවිට පී.සී. ආර්. පරීක්‍ෂණ 388,149ක් සිදුකර තිබෙන අතර, ඒ සඳහා දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් එක්කෝටි විසිතුන් ලක්‍ෂයකට අධික මුදලක් වැය වී තිබේ.

මෙම පී.සී.ආර්. පරීක්‍ෂණ තුළින් පසුගිය ජූලි 25 වැනිදා දක්වා පරීක්‍ෂණ 153,022ක් සිදුකර තිබෙන අතර, අනෙකුත් පී.සී.ආර්. පරීක්‍ෂණ 235,127ක් සිදුකර ඇත්තේ, එතැන් සිට ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා ය. මීට අමතරව බොහෝ දෙනෙකු තම පෞද්ගලික වියදමින්ද පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරගෙන ඇත. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාගෙන් සිදුකළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ,

"සිදුකරන ලද පී.සී.ආර්. පරික්‍ෂණ සඳහා හැරුණු කොට මෙම අරමුදල් පී.සී.ආර්. පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් වැඩි කිරීම සඳහා

යාපනයේ හා මඩකලපුවේ පර්යේෂණගාර වැඩිදියුණු කිරීමටත්, පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා ලබාගන්නා උපකරණ සඳහාත් යොදාගත්තා.

අපි සමාජය දැනුවත් කිරීම් කටයුතු සඳහාද මෙම මුදල් භාවිත කරලා තියෙනවා. ඊට අමතරව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කරන ලදා රූපවාහිනී දැන්වීම් කිහිපයක් සඳහාද මෙම මුදල් යොදවා තියෙනවා. එමෙන්ම අදාළ උපකරණවලට අමතරව දිනකට විශාල මුදලක් වැය වෙනවා. එමෙන්ම සෞඛ්‍ය හැරුණු කොට ඒ සඳහා පත් කරගෙන සිටින කමිටුවක් මඟින් වෙනත් ක්ෂේත්‍ර සඳහාද මෙම මුදල් වැය කරනවා. ඒ සම්බන්ධයෙන් මම දැනුවත් නැහැ" යනුවෙනි. 

කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව කෝවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය කොපමණද යන්න හා එම මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන්ද විමසීමක් සිදු කළ අතර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාශය මෙතෙක් ඊට පිළිතුරු ලබා දී නොමැත.


- රාහුල් සමන්ත -