චෙක් ජනරජය යුරෝපය තුළ COVID-19 ප්‍රථම රැල්ල ඉතාමත් සාර්ථකව මැඩපැවැත්වීමට කටයුතු කළ රාජ්‍යයකි. යුරෝපා කලාපය පුරා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර ගිය වකවානුව තුළ ඔවුන්ගේ ආසාදන වක්‍රය නිරීක්ෂණය කිරීමේදී එය මනාව පැහැදිලි වෙයි. 

එම වකවානුවේදී ලෝකයේ ඕනෑම ප්‍රධාන රාජ්‍යයකට වඩා වේගවත්ව ක්‍රියාත්මක වෙමින්, මුඛ ආවරණ පැලඳීම ඇතුළු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වැඩි කිරීමට චෙක් ජනරජය කටයුතු කිරීම මෙම සාර්ථකත්වයේ රහස විය. නමුත් වසංගතයේ ප්‍රථම රැල්ල ජය ගැනීමේ උද්‍යෝගය නිසාම ගිම්හානය එළඹෙන විට මුඛ ආවරණ නීති ඇතුළු බොහෝ සීමාවන් ඉවත් කරමින් රට ඕනෑවට වඩා සැහැල්ලු කිරීමට කටයුතු කළ ඔවුන්, වසංගතයේ දෙවැනි රැල්ල යුරෝපා කලාපය වෙත හමා එනවිට පෙර පරිදිම යුහුසුළු වූයේ නැත.

එදාට වඩා අද වනවිට නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් දැනුවත්ව සිටින පරිසරයක රටක්

සම්පුර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමක් වෙත නැඹුරුවීමේ අවශ්‍යතාවක් නොමැති බවට මේ වනවි මත පළවෙමින් තිබුණද, මුඛ ආවරණ පැලඳීම ඇතුළු වසංගතයකදී අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු මහජන සෞඛ්‍ය පුරුදු (නිතර දෑත් සේදීම, සමාජදුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි දෑ) සිතාමතාම අත්හැරීමේ හෝ ඒවා දියාරුවීමට ඉඩදී නායකයන් හා සෞඛ්‍ය බලධාරීන් බලා සිටීමේ ප්‍රතිවිපාකය චෙක් ජනරජය අද බුක්ති විඳිමින් සිටින බව පැහැදිලිය.

අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසා දැමීමක් ආකාරයෙන්, මේ වනවිට එරට සියලුම නාගරික ප්‍රදේශවල සහ මෝටර්රථවලදී පවා මුඛ ආවරණ අනිවාර්ය කරන බව චෙක් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍ය රෝමන් ප්‍රිමුල සඳුදා නිවේදනය කළේය. ආසන්නතම කාලසීමාවේදී ඒවා ගෘහස්ථව සහ එළිමහන් දුම්රිය ස්ථාන ඇතුළුව පොදු ප්‍රවාහනයේදී පමණක් අනිවාර්ය විය. නමුත් නව කොරෝනා වසංගතයේ පළමු රැල්ල අතරතුර ලෝකයේම ඕනෑම ප්‍රධාන රටකට වඩා වැඩි මුඛ ආවරණ නීතියක් අනුගමනය කළ චෙක් ජාතිකයන්, සාපේක්ෂව මුල් අවධියේදී දැඩි අගුලු දැමීමක් පැනවීමට රට ගත් තීරණයට සමගාමීව මුඛ ආවරණ නීතිය දැඩි කරමින් COVID-19හි දරුණුතම විනාශයෙන් ඒ අවස්ථාවේදී රට මුදා ගත්තේය.

එහෙත් මේ අවස්ථාවේදී චෙක් ජනරජය තමන්ගේම සාර්ථකත්වයේ ගොදුරක් බවට පත්ව ඇති බව පෙන්නුම් කරන බව විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ගිම්හානයේදී ඔවුන් මුඛ ආවරණ නීතිය ඇතුළු සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව, ශීත සෘතුව ඇරඹෙන මේ මොහොතේ ලෝකයේ ඕනෑම ප්‍රධාන රටකට වඩා, ජනගහනය මිලියනයකට වාර්තා වන වැඩිම නව COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරමින්, වසංගතයේ දෙවැනි රැල්ලෙන් වඩාත්ම බැටකන යුරෝපා රාජ්‍යයක් බවට පත්ව ඇත. 

ඒ අනුව චෙක් ජනරජයේ රෝග පාලනය සදහා වූ යුරෝපීය මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, පසුගිය දින 14 තුළ ජනගහනය 100,000කට ආසාදන 900කට වඩා එරටින් වාර්තා වී ඇති බවය.

චෙක් ජනරජයේ බලධාරීන් විසින් අඟහරුවාදා දිනයේ COVID-19 වෛරසය ආසාදිතයන් 11,984ක් වාර්තා කර ඇති අතර, එය වසංගතය රට තුළට පැමිණීමෙන් පසු වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි. 

ඒ අනුව මේ දක්වා අවම වශයෙන් සමස්ත

ආසාදිතයන් 193,946ක් රට තුළ වාර්තා වී ඇති බව චෙක් සෞඛ්‍ය බලධාරින් (21දා) නිකුත් කළ නවතම දත්තවල දැක්වෙන අතර, ඉන් 113,219ක් තවමත් ක්‍රියාකාරි ආසාදිතයන් වීමද සැලකිය යුතු තත්ත්වයකි. මීට අමතරව අවම වශයෙන් ආසාදිතයන් 1,619ක් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙවැනි පසුබිමක චෙක් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍ය රෝමන් ප්‍රිමුල වැඩිදුරටත් නිවේදනය කර තිබුණේ, එරට තුළ පනවා ඇති නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, පුද්ගලයෙකුට ව්‍යායාම කරන විට හෝ එකම ගෙදරක නොවන පුද්ගලයන් දෙදෙනෙකුට ඔවුනොවුන් අතර මීටර දෙකක දුරක් තබාගත හැකි විට මුඛ ආවරණ අනිවාර්ය නොවන බවයි. එම ව්‍යතිරේකයට අමතරව යමෙකු තනිවම හෝ සිය පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ මෝටර් රථයක ගමන් කිරීමේදී ඔවුන්ටද මුඛ ආවරණයක් පැලඳීම අවශ්‍ය නොවන බවත්, වයස අවුරුදු දෙකට අඩු ළමයින්ටද එය අනිවාර්ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කළේය. 

නමුත් වසංගතයේ ප්‍රථම රැල්ලේදී ලැබු සාර්ථකත්වය අත්නොහැර, ලෝකයේ පැවති අවදානම තේරුම් ගනිමින්, මුඛ ආවරණය ඇතුළු බොහෝ මහජන සෞඛ්‍ය පුරුදු පාලකයන්ගේ සිට සියලු දෙනා දිගින් දිගටම අනුගමනය කළේනම්, මෙවැනි අනපේක්ෂිත අභියෝගයක් චෙක් ජනරජයට වළක්වාගත හැකිව තිබුණු බව පැහැදිලිය. එය චෙක් ජනරජයට මෙන්ම, ඕනෑවට වඩා සැහැල්ලු වීමට ගිය ලෝකයේ ඇතැම් රටවලටද පාඩමක් කියාදුන් බව නොරහසකි.