COVID19 වසංගතය අමෙරිකා එක්සත් ජනපදය තුළ පාලනය සදහා කිසිදු හැකියාවක්  නොමැති බව ධවල මන්දිරයේ කාර්යමණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩොව්ස් පවසයි. පසුගිය ඉරිදා ධවල මන්දිරයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.

"අපිට මේ වසංගතය පාලනය කරගන්න බැරී තත්වයක් තමයි තියෙන්නේ. අපිට මේ වෛරසයට එරෙහි එන්නතක්, ප්‍රතිකාරයක් වගේම අනෙකුත් ලිහිල් කිරීම් වැඩිකිරීම හරහා අපිට මේ තත්වය පාලනය කරගන්න හැකි වේවි. ඔහු පවසා සිටියි. විශේෂයෙන්ම රට පුරා ව්‍යාප්තව පවතින ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් මේ වනවිට එරට 225,000දෙනෙකු ඉන් මරණයට පත්වීමත් සමග ධවල මන්දිර

කාර්යමණ්ඩල ප්‍රධානියා මෙලෙස සිය අදහස් පළ කර තිබේ. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් හෝ නියමයන් නිසි ලෙස පිළිනොපැදීම මෙම තත්වය ඇතිවීම සඳහා හේතු වූ බව විදෙස් මාධ්‍ය පවසයි. එහිදී රජය කිසිලෙසකින්වත් මුඛ ආවරණ පැලඳීමට, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට, විශාල ඒකරාශීවීම් වැළැක්වීමට උපදෙස් ලබානොදීම මෙම තත්වයට හේතු බව ඔවුන් සඳහන් කරයි.

ධවල මන්දිරය තුළ පවා දැනටමත් එක් වටයකට  COVID-19ව්‍යාප්තියක් සිදුව ඇති අතර, එහිදී ජනාධිපතිවරයා, ජනපති ආර්යාව ඇතුළුව තවත් ධවල මන්දිර කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසක් ආසාදිතයන් බවට පත්වූහ. එසේම මේ වනවිට එරට උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියාද ඇතුළුව ඔහුගේ ඇතුළු කවයේ නිලධාරීන් පස්දෙනෙකු දැනටමත් වෛරස ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව මෙය ධවල මන්දිරය තුළ වසංගත ව්‍යාප්තියේ දෙවැනි අවස්ථාවක් ලෙසටත් සැලකී තිබේ. පසුගිය සෙනසුරාදා දිනයේදී එක්සත් ජනපදය සිය දෙවැනියට වැඩිම දෙනික ආසාදිතයන් පිරිසක් වාර්තා කළ අතර, එහිදී ඇමෙරිකානුවන් 84,000කට වෛරසය ආසාදනය වී තිබුණි. ඒ අනුව ඉරිදා දිනය වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,575,000ක් ඉක්මවා තිබුණි.