'කෝවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඊයේ වනවිට වාර්තා වන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.  කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් රෝගීන් හතරදෙනෙකුද, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් රෝගීන් තුන්දෙනෙකුද, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් රෝගීන් පස්දෙනෙකුද, ඇලපාත කොට්ඨාසයෙන් රෝගීන් දෙදෙනෙකුද, කහවත්ත කොට්ඨාසයෙන් රෝගීන් දෙදෙනෙකුද, ඇඹිලිපිටිය කොට්ඨාසයෙන් රෝගීන් දෙදෙනෙකුද, කුරුවිට කොට්ඨාසයෙන් එක් අයෙකුද ලෙස
මෙසේ රෝගීන් වාර්තා වී තිබේ. එමෙන්ම 'කෝවිඩ්-19" පැතිරීමේ අවදානම හේතුවෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්වල, ඕලුගල, හන්දියේ සිට පලාබද්දල මාර්ගය, කනේගල්ල - කුරුවිට මාර්ගය සහ රන්තුරුගල මාර්ගය පෙරේදා (25දා) රාත්‍රියේ සිට වසා ඇති බවත්, ඇඹුල්දෙනිය, පාගොඩ, සිරිපාගම. ගුරුළුවාන, උතුරු ගිලීමලේ, දකුණු ගිලීමලේ. කැටවල සහ මාපලාන ග්‍රාම නිලධාරි කොට්ඨාස හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවත් ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය. 


රත්නපුර දිස්ත්‍රික්කය තුළ මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවද, අවශ්‍ය අයගේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදුකරමින් පවතින බවද, රත්නපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සඳහන් කළේය. 'කෝවිඩ්-19 වෛරසය ආසාදිත බවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන් 19දෙනාගෙන්, 13දෙනෙකුම පෑලියගොඩ  මත්ස්‍ය වෙළෙඳ පොළ හා සම්බන්ධ ආසාදිතයන් බවත්, තුන්දෙනෙකු වරාය හා සම්බන්ධ ආසාදිතයන් බවත්, දෙදෙනෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ ආසාදිතයන් බවත්, එක් අයෙකු මාලදිවයින්නේ සිට පැමිණි අයෙකු බවත් වෛද්‍ය කෝණාර මහතා සඳහන් කළේය.