අද දිනයේ කොරෝනා ආසාදනයෙන් මියගිය තිදෙනා පිළිබඳ වැඩිදචුර තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කර තිබේ.

අයි.ඩී.එච්. රෝහලේදී අද පෙරවරුවේ මියගිය කොවිඩ් ආසාදිතයා, ජා ඇළ තිසේරා මාවතේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු 41ක් එම පුද්ගලයා අක්මාව දැඩි ලෙස ආබාධයට ලක්ව සිරෝසිස් රෝගයට ප්‍රතිකාරගත් පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙහි පාරිභෝගිකයෙකු වන ඔහු

 වෛරසය ආසාදනය වීමෙන් පසු 24 වැනිදා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබූ අතර

දින 3කදී මිය ගියේය.

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී නිරෝධායන රෙගුලාසිවලට අනුව සිදුවිය.

--------------

මේ අතර අද ඊළඟට මියගිය කොම්පඤ්ඤවීදිය, වෑකන්ද ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාව වසරක පමණ කාලයක් එක්තැන්ව සිටි කාන්තාවකි. ඇය නිවසේදීම මියයන්නේ නිවසේ සිටි දියනිය ගෙන ආ මාළු පාර්සලයක් නිසාය.

මියගිය කාන්තාවගේ දියණිය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගත් මාළු පසුගිය දිනවල නිවසේ තබා තිබී ඇති අතර මාළු අතපත ගෑමට හා ශීතකරණය විවෘත කිරීමට අවස්ථා කිහිපයකදී වයෝවෘද්ධ කාන්තාව කටයුතු කර ඇති බව සාක්ෂි අනුව හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් පෑලියගොඩ මාළු සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ භයානක තත්වයක් ආරංචි වීමෙන් පසුව නිවසේ රැඳී සිටි

ඇයගේ පුත්‍රයෙකු විසින් පසුගියදා එම මාළු විසි කිරීමට ගිය බව කියැවේ. ඒලෙස විසිකරන්නට යන අයුරු අසල්වාසියෙකු දැකගැනීමෙන් පසුව ඒ පිළිබඳව සැකයට පොලීසියට දැනුම්දී ඇත්තේ පරිසරයට අනාරක්ෂිත මාළු පාර්සලයක් විසිකරන්නට යන බවකි. පොලිසිය මෙම නිවසට පැමිණ සිද්ධිය ගැන විමසා ඇති අතර මාළු පාර්සලය පෑලිය‍ගොඩින් ගත් එකක් බව ඔවුන් පැවසීමෙන් පසු ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු මෙම නිවසේ අය නිරෝධායනයට යොමු කරන්නට පියවර ගෙන ඇත.


 මෙම 87 හැවිරිදි කාන්තාව මියයන්නේ ඒ කියන නිරෝදායනය අතරතුරදීය.

නිවසේදී මියගිය එම කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ, දේහයෙන් ලබාගත් ජෛව සාම්පල ජාතික රෝහලේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසුවයි.

----------------

මේ අතර, කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ අද මියගිය තරුණයා 19 හැවිරිදි “විශේෂ අවශ්‍යතා සහිත” තරුණයෙකු බවට හඳුනාගෙන තිබේ.එම තරුණයා ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ කකුලේ තුවාලයක් ගැන සඳහන් කරමින් වුවත් ඔහු ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර පසුව සිදුකරන ලද පීසීආර් පරීක්ෂනයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.