කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීමට රුපියල් කෝටි 40ක් වෙන් කරන ලද බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

 ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම මත මුදල් අමාත්‍යාංශය මෙම ප්‍රතිපාදන වෙන් කළ බවයි.
පළමු අදියරට යටතේ මුලින්ම ඇඳිරි නීතිය පැනවූ හා දැනට සංචරණය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට අයත් මිනුවන්ගොඩ දිවුලපිටිය, අත්තනගල්ල හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 72,345 ක් සඳහා මෙම 5000 දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. 

 මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කළේ අඟහරුවාදා (20දා) සිට මෙම දීමනාව ලබාදීමට සියලු කටයුතු යොදා ඇති බවයි. කොවිඩ් 01 හා 02 වටයන් තුළ අනුගමනය කළ පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවද ජයලත් මහතා කීවේය. ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශ 16 තුළ වෙසෙන ජනතාවට දෙවැනි අදියර යටතේ එම මුදල ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබාදීමට පියවර ගැනේ.

 පසුගිය ධ් හා ධ්ධ් වටයන්හිදී ඒ ඒ ග්‍රාමසේවා වසම්වල පත් කෙරුණු ග්‍රාමීය කමිටු හරහා කොවිඩ් -19 හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් හඳුනා ගැනුණු අතර එම සියලු පවුල් සඳහා මෙවරද අදාළ දීමනාව ලබාදීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදෙන ලෙස සංචාරක ඇමැති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.