මේතාක්  වාර්තාවූ විශාලතම කොරොනා පොකුරක් මේ වනවිට මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලව ආශ්‍රිතව නිර්මාණයවී ඇත.
මින් ඉහත කන්දකාඩු ආශ්‍රිතව ගොඩනැගුණ මේ ආකාරයේ පොකුරක් නිසාද ආන්දෝනයක් මතුවූ අතර රොගීන් 650 පමණ වාර්තා වී තිබුණි. යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදනය හඳුනාගන්නට යෙදුනේ සුපර්වයිසර්වරියකට කොරොනා ධනාත්මකවීමෙන් පසුව වුවත් එය මුලින්ම ආසාදිතවූයේ ඇයටද යන්න තවම ප්‍රශ්නාර්ථයකි.
දැනට ඒ ගැන කරන විමර්ශන වලදී ඇයට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ
කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළින්ම බවට තොරතුරුඅනාවරණයවී ඇත.
සුපර්වයිසර් කාන්තාවට කාලයක් තිස්සේ හතියක් තිබී ඇති අතර හතිය වැඩිවීම නිසා ඇය පසුගිය 30 වැනිදා බදාදා ගම්පහ රෝහලට ගොස් ඒ සම්බන්ධව ප්‍රතිකාර ලබාගන්නට කටයුතු කර තිබේ. ඇය ප්‍රතිකාර ලබාගත් ගම්පහ රෝහල්
 වාට්ටුවේ සෑම දිනකම රෝගීන් 10 දෙනෙකුට පී.සී.ආර්.පරීක්ෂණ සාමාන්‍යයෙන් සිදු කරන නිසා ශ්වසනය ආශ්‍රිත රෝගයක් පෙන්නුම් කළ ඇයටද පීසීආර් පරීක්ෂණයකට යොමු කර තිබේ. නමුත් එහි ප්‍රතිඵල එනතුරු රඳවාගැනීමක් කර නැති අතර පරීක්ෂණයට ලක් වීමෙන් පසු ඇයව රෝහලින් නිවසට එවා තිබේ.


රෝහලෙන් කිසිදු වැඩිදුර සඳහනක් නැතිව තිබියදී ඇය 01 වැනිදා බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයටද වාර්තා කර ඇත.
රෝගය තවම රහසක්ව තිබියදී 02 වනදා සිකුරාදා වන විට කම්හලේ සේවිකාවන් සැලකිය යුතු ප්‍රමාණයක් උණ රෝගයෙන් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර කම්හල ඇතුළේ ආයතනික ඩිස්පැන්සරිය වෙත යොමු කළ පසුව වෛද්‍යවරයා මේ වෛරස් රෝගයක් ලෙස දක්වා ප්‍රතිකාර හා උපදෙස් ලබාදී ඇතත් කොරෝනාවක් ගැන සැකයක් මතු කර නැත.
ඉන්පසුදා 03 සෙනසුරාදා වනවිට උණ ගතිය උත්සන්න වී  එක් සේවිකාවක් ක්ලාන්තවූ බවටද ඇය එක්වරම ඇද වැටුණ බවටද වාර්තා තිබේ.  අනෙක් පිරිසද තම අමාරුකම් පවසද්දී කම්හල් පරිපාලනය වෛද්‍යවරයා මැදිහත් කර තිබෙන අතර වේදනා නාශක ලබා දී  පැය දෙකක විවේකයක් ලබාදී නැවත වැඩ පටන්ගන්නැයි දන්වා ඇත.
යකහටුව  බ්‍රැන්ඩික්ස් සේවිකාවක පවසා තිබෙන ආකාරයට මෙම අවස්ථාවේ 50 දෙනෙකු පමණ අසනීප ලක්ෂණ පෙන්වා ඇත. ඉන් අඩකට පමණ ආයතනය තුළින් ඖෂධ ලබාදී ඇති අතර තවත් අඩක් බාහිර රෝහල් වෙත යවා ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබේ.
මේ අතරවාරයේ ප්‍රමාදවෙමින් තිබුණ සුපර්වයිසර්වරියගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව 03 වන සෙනසුරාදා රාත්‍රියේ නිකුත් විය.
එය බාහිර සමාජයකින් වාර්තාවූ ආසාදිත තත්වයක් නිසා දෙතුන්වර පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුව නිකුත් කරන ලද අතර කොරෝනා ධනාත්මක බවට වූ එම ප්‍රතිඵලය සෞඛ්‍ය බලධාරීන්ගේ තිගැස්මට හේතු විය. මේ ගැන ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් බ්‍රැන්ඩික්ස් පරිපාලනය සමග සාකච්ඡා පවත්වා ඇති අතර කර්මාන්ත ශාලා පාලන අධිකාරිය දැඩි කලබලයකට ලක්ව ඇත.
සේවක සේවිකාවන් 1400කට කාර්ය මණ්ඩලය 250 ආසන්න ප්‍රමාණයට මෙය පැතිර තිබේනම් මහත් ගැටලුවක් මතු කළ හැකි බව වැටහී ඇත. යාපනයේ සිට පවා ප්‍රවාහන පහසුකම් ලබාදී මෙම කර්මාන්ත ශාලාවට උදෑසන සේවයට වාර්තා කරන පිරිසක් දසත විසිරී සිටින බැවින් තත්වය දරුණු බව වැටහී ඇත.‍


මෙම රෝගය කර්මාන්ත ශාලාවට පැමිණියේ කෙසේද යන්න ගැන තවම පරීක්ෂණ පැවැත්වේ. මේ අතර මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සමග සම්බන්ධතා පවත්වන විදෙස් රටවල නියෝජිතයින් හරහා මෙය පැමිණි බවට තොරතුරක්ද පැතිර ඇත. මේ දිනවල තදින් කොරෝනා ආසාදනය පවතින ඉන්දියාවේ සිට පැමිණි නියෝජිතයින් කිහිපදෙනෙකු ගැන සැකයක්ද පැනනැගී ඇත.
මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ ගැන සොයා බලා ඇති අතර ඔහු පවසන්නේ පාලනාධිකාරිය එම කතාව ප්‍රතික්ෂේප කළ බවයි.
'දිගින්දිගටම කටකතාවක් පැතිරයනවා මෙම කර්මාන්ත ශාලාවට ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු පැමිණුනා කියලා. නමුත් මේවනතුරු අපිට ඒ බව තහවුරු කරගන්න බැරිවුණා. කර්මාන්ත ශාලාවෙන් විමසුවාම ඔවුන් එය ප්‍රතික්ෂේප කරලා තියනවා. කෙසේ වෙතත් මෙම කතාවෙ සත්‍ය අසත්‍යතාව ගැන ඉදිරි විමර්ශන වලදී අනාවරණය වේවි.' ඔහු කීවේය.