කුඩා බිළිදෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මහනුවර, බූවැලිකඩ නිවසේ සුන්බුන් ඉවත් කිරීම සඳහා ලක්ෂ 28ක පමණ මුදලක් යන බවත්, එම මුදල කඩාවැටුණු නිවෙස් හිමියාගෙන් අය කරගත යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.
ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හෙයින් එම මුදල් ලබා ගැනීම සඳහා රජයෙන් ඉල්ලීමක් කර ඇති බවද ඒ මහතා පැවසීය. ආණ්ඩුකාරවරයා මෙසේ පැවසූයේ ඊයේ (05දා) ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම ආණ්ඩුකාරවරයා ,


එම කඩා වැටුණු නිවස පිළිබඳව මූලික වාර්තාවක් ලැබුණා. එය පිටු 21කින් සමන්විතයි. එහි අවසන් නිගමනය සඳහා එම ගොඩනැගිල්ල සම්බන්ධව පරීක්ෂණ සිදුකළ යුතු බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියලා තියෙනවා. එම පරීක්ෂණ කටයුතු සඳහා එම ස්ථානයේ සුන්බුන් ඉවත් කළ යුතුයි. එම නිසා සුන්බුන් ඉවත් කිරීමෙන් අනතුරුව තමා මෙය සිදුකරන්නට වෙන්නේ. ඒ නිසා තමා අපි මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් ලබාගෙන පරීක්ෂණ කටයුතු කරලා පසුව ඉඩම් හිමියාගෙන් එම මුදල් අය කර ගන්න යන්නේ.” යැයි පැවසීය.

මෙම නිවාසයට හානි වීමත් සමඟ මහනුවර කළ විමර්ශනවලින් තවත් එවැනි තත්ත්වයේ නිවාස 200ක් පමණ හමුවූ බවත්, ඒ සම්බන්ධවත් පරික්ෂණ ආරම්භ කිරීමට කමිටුවක් පත්කර තිබෙන අතර, ඒකමිටුව හරහා මේ වනවිට නිවාස 20ක් පමණ පරික්ෂා කර ඇති බවත්, සියලුම නිවාස පරීක්ෂා කිරීමෙන් අනතුරුව නීතිමය පියවර ගන්නා බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.

කඩා වැටුණු ගොඩනැගිල්ල සම්බන්ධව අවසන් වාර්තාව ලැබුණු පසු ඉදිරි නීතිමය කටයුතු අරඹන බවත්, මේ වනවිටද පොලීසිය මගින් නීතිමය කටයුතු සිදුකර ඇති බවත් ආණ්ඩුකාරවරයා එහිදී පැවසීය.
 - චමිල් රූපසිංහ -